දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘ­ති­ව­ලට චීන­යෙන් රුපි­යල් කෝටි 2,000ක්-ඇමැති විජිත හේරත්

රටක් වශ­යෙන් ආර්ථික අප­හ­සුතා පව­තින මොහො­තක ජන­තා­වගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරීම සඳහා රුපි­යල් කෝටි 2,000 (යුවාන් මිලි­යන 500)ක ප්‍රදා­න­යක් චීන රජ­යෙන් ශ්‍රී ලංකා­වට ලැබෙන බව විදේශ කට­යුතු, සංචා­රක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ චීන රාජ්‍ය සංචා­රය අත­ර­තුර සිදු කළ සාක­ච්ඡා­වල ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් එම මුදල ශ්‍රී ලංකා­වට හිමි වන බව පෙන්වා දෙන ඒ මහතා නැවත ගෙවිය යුතු නොවන මෙවැනි ප්‍රදාන ශ්‍රී ලංකා­වට විශාල ශක්ති­යක් බව ද ඊට අම­ත­රව ශ්‍රී ලංකා­වට සහ චීන­යට එක සේ වැද­ගත් වන ගිවි­සුම් 15කට අත්සන් තැබී­මට හැකිව තිබෙන බව ද පෙන්වා දෙයි.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ චීන සංචා­රය සම්බ­න්ධ­යෙන් මාධ්‍ය දැනු­වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ දී ඊයේ (22) පෙර­ව­රුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඇමැ­ති­ව­රයා මේ බව පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේ,

“චීන ජනා­ධි­පති ෂී ජින්පින් මහ­තාගේ ආරා­ධ­න­යෙන් ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු පිරි­සක් චීනයේ සංචා­රය සඳහා සහ­භාගි වුණා. වෙනදා එවැනි රාජ්‍ය ආරා­ධ­නා­ව­කට විශාල පිරි­සක් යනවා. නමුත් මෙවර ගියේ අත්‍ය­වශ්‍ය නිල­ධා­රීන් පම­ණයි. එය පැහැ­දිලි වෙන­ස්ක­මක්.

එහිදී එක­ඟතා රැස­කට පැමි­ණියා. දින 4ක් මේ සංචා­රය සිදු වුණා. 15 දා චීන ජනා­ධි­පති ෂී ජින්පින් මහතා සමඟ සාක­ච්ඡා­වක් පැව­තියා. දෙපා­ර්ශ්වය අතර සහ­යෝ­ගී­තාව වර්ධ­නය කර ගන්න එහිදී අව­ස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී චීන ජනා­ධි­ප­ති­ව­ර­යාට ස්තුතිය පිරි­නැ­මුවා. වර්ත­මා­න­යේත් අඛ­ණ්ඩව ශ්‍රී ලංකා­වට චීන­යෙන් සහාය ලැබෙ­නවා. තව­දු­ර­ටත් ශ්‍රී ලංකාවේ අනා­ග­තය වෙනු­වෙන් සහාය දෙන බවට පැව­සුවා.

එහිදී චීන අග­මැ­ති­ව­රයා හා චීන මහ­ජන කොංග්‍ර­සයේ ප්‍රධා­නියා හමු වුණා. ඊට අම­ත­රව තවත් නාය­ක­යන් සමඟ සාකච්ඡා කරන්න අව­ස්ථාව ලැබුණා. තව­දු­ර­ටත් චීනයේ සහාය ශ්‍රී ලංකා­වට ලැබෙන බවට පොරොන්දු වුණා. චීන ජනා­ධි­පති ෂී ජින්පින් මහතා සහ ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා අතර පැවැති සාක­ච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් සාකච්ඡා වුණා.

කොළඹ වරාය නග­රය, හම්බ­න්තොට වරාය, මධ්‍යම අධි­වේගී මාර්ගයේ ඉති­රිය ඇතුළු ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් සාකච්ඡා වුණා. එම සාක­ච්ඡා­වෙන් අන­තු­රුව දෙරට අතර ඒකා­බද්ධ ප්‍රකා­ශ­න­යක් නිකුත් කරන්න අපි පිය­වර ගත්තා. දෙරට අතර සහ­යෝ­ගී­තාව සම්බ­න්ධ­යෙන් එහිදී කරුණු දැක්වූවා. එක් චීන­යක් ප්‍රති­ප­ත්තිය අඛ­ණ්ඩව පවත්වා ගෙන යන්න ශ්‍රී ලංකා රජය කැප වන බවට ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා­වට හානි වන ආකා­ර­යෙන් කට­යුතු සිදු වනවා නම් එය වැළැ­ක්වී­මට චීන රජ­යෙන් සහාය ලබා­දෙන බවට ද පොරොන්දු වුණා. ඉති­හා­සයේ දී අපේ රට තර්ජ­න­ව­ලට ලක් වූ හැම අව­ස්ථා­ව­කම ශ්‍රී ලංකාවේ ස්වෛරී­ත්වය වෙනු­වෙන් චීනය පෙනී සිටියා. එය ඉදි­රි­ය­ටත් ශක්ති­මත්ව ඉටු කරන බවට පොරොන්දු වුණා. ඒ ජාත්‍ය­න්තර සහාය ඉදි­රි­යට නිර­න්ත­යෙන් ලබා­දෙන බවට ජනා­ධි­ප­ති­ව­රයා හා අග­මැ­ති­ව­රයා සහ­තික වුණා. ඒ අනුව රටක් ලෙස චීනය අපිට ඉතාම වැද­ගත්. එනි­සාම මෙය වාසි රැසක් ගෙන දුන් සංචා­ර­යක් වෙනවා.

ශ්‍රී ලංකාව ශක්ති­මත් ලෙස ඉදි­රි­යට යන විට චීනයේ සහාය අපිට අවශ්‍ය වෙනවා. එම සහාය ලබා­දෙන බවට චීන රජය ප්‍රකාශ කළා. මේ සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව දෙරට අතර අව­බෝ­ධතා ගිවි­සුම් හා එක­ඟතා ලිය­විලි 15ක් සඳහා අත්සන් තැබුවා. එහිදී අපිට චීන රජය විශාල මූල්‍ය ප්‍රදා­න­යක් ලබා දුන්නා. යුවාන් මිලි­යන 500ක ප්‍රදා­න­යක් අපිට චීන­යෙන් ලබා දුන්නා. එය රුපි­යල් බිලි­යන 20ක පමණ ආධා­ර­යක්. එය ශ්‍රී ලාංකි­ක­යන්ට විශාල ශක්ති­යක් වගේම විශාල වාසි­යක්.

වරාය නගර ව්‍යාපෘ­තිය තුළ නව ජාත්‍ය­න්තර රැස්වීම් හා සමුළු පැවැ­ත්වීමේ හැකි­යාව තිබෙන සම්ම­න්ත්‍රණ ශාලා­වක් චීනයේ ප්‍රදා­න­යක් ලෙස ඉදි­කර දෙන්න ඉදි­රි­පත් වුණා. එය සම්පූ­ර්ණ­යෙන්ම චීන­යෙන් අපිට නොමිලේ ලබා­දෙන සම්ම­න්ත්‍රණ ශාලා­වක් වෙනවා. රට තුළ ඉහළ මට්ටමේ සමුළු පව­ත්වන්න ඒ තුළින් හැකි වෙනවා. 2025 වස­රට චීන රජය මඟින් පාසල් හා පිරි­වෙන් ළම­යින්ට අවශ්‍ය නිල ඇඳුම නොමිලේ ලබා­දෙන්න ඉදි­රි­පත් වෙලා තිබෙ­නවා. ඒකට අපේ ස්තුතිය පිරි­න­ම­නවා.

2026 වසර සඳහා ද පාසල් හා පිරි­වෙන් ළම­යින්ට අවශ්‍ය නිල ඇඳුම් නොමිලේ ලබා­දෙන්න ඉදි­රි­පත් වී තිබෙ­නවා. ඒ වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 600ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පා­දිත කුකුළු මස් කොටස් චීන වෙළෙ­ඳ­පො­ළට ඉදි­රි­පත් කරන්න අව­ස්ථාව ලැබී තිබෙ­නවා. එය අපේ නිෂ්පා­ද­ක­යන්ට අනඟි අව­ස්ථා­වක්. තිරිඟු ඇට මෙර­ටට ගෙන­විත් පිටි නිෂ්පා­ද­නය කර­නවා. තිරිඟු පොතු චීන­යට අප­න­ය­නය කරන්න අව­ස්ථාව ලැබෙ­නවා. ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­න්තය දියුණු කර­න්නත් චීන සංචා­ර­ක­යන් වැඩි වශ­යෙන් ගෙන්වා ගන්නත් අවශ්‍ය ගිවි­සු­මට අත්සන් කර තිබෙ­නවා.

හම්බ­න්තොට ඉන්ධන පිරි­ප­හ­දු­වක් ඉදි කරන්න ඩොලර් බිලි­යන 3.5ක් වෙන් කරන්න පිය­වර ගෙන තිබෙ­නවා. දැනට මූලික වශ­යෙන් ඇති ඉඩම් හා ජලය ලබා ගැනීම, ව්‍යාපෘ­ති­යට ලබා­දිය යුතු බදු සහන සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කර­නවා. මේ තෙල්ව­ලින් ශ්‍රී ලංකාවේ වෙ‍ෙළ­ඳ­පො­ළට ලබා­දෙන ප්‍රමා­ණය ආදිය පිළි­බ­ඳව අපි සාකච්ඡා කර­නවා.

මාස­යක් ඇතු­ළත ඉඩම්, ජලය ආදිය සම්බ­න්ධ­යෙන් අව­සන් එක­ඟ­තා­ව­කට පැමි­ණෙ­නවා. අපේ රට තුළ දැනට ක්‍රියා­ත්මක චීන ව්‍යාපෘති රැසක් තිබෙ­නවා. ඒ සියලු ව්‍යාපෘති කඩි­න­මින් ක්‍රියා­ත්මක කරන්න දෙපා­ර්ශ්වය පිය­වර ගෙන තිබෙ­නවා. දැන­ට­මත් අපිට ලබා­දෙන සහල්, ධීවර දැල් ආම්පන්න, නිවාස සඳහා යුවාන් මිලි­යන 35.7ක මුද­ලක් ප්‍රදා­න­යක් ලෙස ශ්‍රී ලංකා­වට ලබා­දෙන්න චීනය එකඟ වී තිබෙ­නවා. ඒ ලිය­වි­ල්ලට අපි අත්සන් කළා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආය­තන කිහි­ප­යක් චීනයේ ප්‍රධාන මාධ්‍ය ආය­තන අතර ගිවි­සුම් 5කට අත්සන් කළා. මේ මාධ්‍ය ආය­ත­න­වල වැඩ කරන මාධ්‍ය­වේ­දීන්ට එම­ඟින් සහන සැල­සෙ­නවා. රටක් ලෙස අපේ අන්ත­ර්ජා­තික සබ­ඳතා ඉදි­රි­යට ගෙන යන්න චීන සංචා­රය වැද­ගත් වෙනවා.

මෙහිදී පිරි­ප­හදු කරන ඉන්ධන අප­න­ය­නය කර­නවා. එහි යම් කොට­සක් ශ්‍රී ලංකාවේ වෙළෙ­ඳ­පො­ළට ලබා­දෙ­න්නත් සාක­ච්ඡා­වක් තිබෙ­නවා. මසක් ඇතු­ළත ඒ සම්බ­න්ධ­යෙන් එක­ඟ­තා­ව­කට එනවා. අපි ඒකට භූමිය හා යටි­තල පහ­සු­කම් ලබා දෙනවා. ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාව මධ්‍ය­ස්ථා­න­යක් ලෙස කට­යුතු කර­නවා. ඒ අනුව අපිට එවැනි අව­ස්ථා­වක් ලැබෙ­නවා. මේ අනුව ශ්‍රී ලංකා­වට ඉතාම වාසි­දා­යක තත්ත්ව­යක් ලැබෙ­නවා” යැයි පැව­සීය.

විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ ජන­රාල් රුවන්ති දැල්පි­ටිය මහ­ත්මිය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.