වගා නොකරන ලද ඉඩම්වල වගා කිරීම අනිවාර්ය කරනවා: අනුගතව කටයුතු නොකරන අයට දඩ-කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

රජයට සහ පෞද්ගලික අංශයට අයත් වගා නොකරන ලද ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීම අනිවාර්ය කරන බවත් ඊට අනුගතව කටයුතු නොකරන ඉඩම් හිමිකරුවන්ට දඩ මුදල් පැනවීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

එළඹෙන පෙබරවාරි මස 15 වැනිදායින් පසුව අදාළ වැඩපිළිවෙළ සක්‍රීයව ක්‍රියාත්මක කරන බවත් වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීමක් මෙහි දී කිසිසේත් සිදු නොවන බවත් ඒ මහතා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඉඩම් තිබෙන ආයතන ගණනාවක් තිබෙන බවත් මෙම ඉඩම්වලින් වැඩි කොටසක් ආර්ථිකයට උපරිම ඵලදායිතාවක් ලැබෙන අයුරින් යොදා ගැනීමක් මේ වනවිට දක්නට නොලැබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

අදාළ ඉඩම් දියුණු කිරීමේ අරමුණ ඇතිව ඒවායින් උපරිම ඵලදායිතාව ලබා ගැනීම සඳහා නව වැඩසටහනක් සකස් කළ බවත් එය පෙබරවාරි 15 දායින් පසු ක්‍රියාත්මක කරන බවත් ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.

වගා නොකර ඉඩම් හිස්ව තබාගෙන රට ගොඩගත නොහැකි යැයි ද ඒ මහතා කීය. රජයේ ඉඩම් එක් පැත්තකින් ද අනෙක් පැත්තෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, මහවැලි අධිකාරිය හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බවත් කී ලාල්කාන්ත මහතා මේවායින් උපරිම ඵලදායිතාවක් රටට නොලැබෙන බව ද අවධාරණය කළේය.

වසර ගණන් අඛණ්ඩව කිසිදු වගා කටයුත්තක් සඳහා යොදා නොගන්නා හිමිකරුවන් සිටින ඉඩම් ප්‍රධාන මාර්ග දෙපස පවා දක්නට ලැබෙන බවත් පෙර කී පනත්වලට අනුකූලව මෙම ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවත් ඒ මහතා කීය.

ඒ ඒ ප්‍රදේශවල පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගෙන අදාළ ඉඩම්වල වගා කටයුතු ආරම්භ කළ යුතු බවත් හිමිකරු වගා නොකරන්නේ නම් එම ඉඩම් වගා කළ හැකි අයට පවරා දිය යුතු බවත් කී ඒ මහතා ඒ සම්බන්ධයෙන් වන තීරණ ඉඩම් හිමිකරු, ගොවි සංවිධාන නියෝජිතයින්, රජයේ නිලධාරීන් ඇතුළු පාර්ශ්ව එක්ව ගත යුතු බව ද ප්‍රකාශ කළේය.

රටට අවශ්‍යය ඵලදායිතාව හොඳින් ලැබෙන ආකාරයට වගා කටයුතු සිදුවිය යුතු බවත් මෙහි දී වගා නොකරන ඉඩමක හිමිකම කිසිසේත්ම ඔප්පුවේ හිමිකරුට අහිමි නොවන බවත් ඇමැතිවරයා පැවසුවේය.

වැරදි ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව සකස් කළ කැබිනට් පත්‍රිකා හේතුවෙන් රටේ ඇතැම් ඉඩම් අපට අවශ්‍ය ආකාරයට භාවිතයට ගැනීමට නොහැකි වී තිබෙන බවත් පසුගිය කාලයේ කැබිනට් සංදේශයක් මගින් ඉන්දියාවේ අමූල් සමාගමට ඉඩම් ලබාදීම ඊට එක් උදාහරණයක් බවත් කී ඒ මහතා ඉතාම ඉක්මනින් එම කැබිනට් තීරණ අහෝසි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන බව ද අවධාරණය කළේය.

ඉහත කී ලෙස උපරිම ඵලදායිතාවක් ලැබෙන ලෙස ආර්ථික සංවර්ධන කටයුතුවලට අදාළ ඉඩම් භාවිත කිරීමට හැකිවන ආකාරයේ ඇමැති මණ්ඩල සංදේශ සම්මත කර ගන්නා බව ද ඒ අනුව ඉදිරියේ දී රජයේ කුමන හෝ ආයතනයක් යටතේ පවතින ඉඩම් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන හිස්ව තැබීමට ඉඩ නොතබන බව ද ලාල්කාන්ත මහතා කීවේය.

අදාළ කටයුත්ත වෙනුවෙන් කෘෂිකර්ම, ,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පෙබරවාරි 15 දායින් පසු සක්‍රීයව මැදිහත් වන බවත් වත්මන් ආණ්ඩුවට ලැබුණු ජනවරමෙන් අපේක්ෂා කරන්නේ රටේ දියුණුව බවත් කී ඒ මහතා ඉඩම් ප්‍රතිපලදායක ලෙස යොදා නොගන්නා සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පැවසුවේය.