රජයේ මුද්‍රණාලයේ කටයුතු කිසිඳු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක කිරීමයි වැදගත්- ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

පැය 24ක් පුරා අඛණ්ඩව සේවා සපයන රජයේ මුද්‍රණාලයේ කටයුතු කිසිඳු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක කිරීම වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මුද්‍රණාලාධිපති කේ.ජී පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් සමඟ එම දෙපාර් තමේන්තුවේ පෙරේදා (20) පැවැති සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. රටේ පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් මනා කළමනාකරණයකින් හා මනා සැලැස්මකට අනුව සියලු වෘත්තීය සමිතිවල ද අදහස් එම සැලැස්මට අනුගත කර ගනිමින් ඉදිරි කටයුතු සිදු විය යුතු බව ඇමැතිවරයා කීවේය.

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශ්‍යම ආයතන ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කිරීම රජයේ අරමුණ බව ඒ මහතා සඳහන් කළේය.

සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් සහිතව කටයුතු කිරීම තුළින් පෞද්ගලික ආයතන මෙන් ලාභ උත්පාදනය කළ හැකි ක්ෂේත්‍රවලට අදාළව විවෘත වෙළෙඳපොළ සමඟ තරග කිරීමට උත්සාහ කළ යුතු බව ඇමැතිවරයා පැවැසීය.

ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මෙරට තරුණ ප්‍රජාවට මුද්‍රණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම බෙදාදීමේ පෙරගමන්කරුවෙක් විය යුතු බව ද ඇමැතිවරයා කියා සිටියේය. තරුණ ප්‍රජාව මුද්‍රණ ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගත හැකි වැඩපිළිවෙළක් සකසන ලෙස ද ඇමැතිවරයා කීවේය. කාර්ය මණ්ඩල සංඛ්‍යා සමාලෝචනය, තාක්ෂණික කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සංශෝධිත දිරි දිමනා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. දෙපාර්තමේන්තුවට නවීන තාක්ෂණය අත්පත් කර ගනිමින් සංවර්ධනය කිරීම සඳහා සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංයුක්ත සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, සියලු ප්‍රකාශන කටයුතු යුනිකෝඩ් මඟින් සිදු කිරීම, සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ගැනිණි.

ඇමැතිවරයා සියලුම අංශ වෙත ගොස් කරුණු සොයා බැලූ අතර එහිදී නවක මෙන්ම දශක 3කට වඩා වැඩි සේවා කාලයක් රජයේ මුද්‍රණාලයේ සේවය කර ඇති පළපුරුදු සේවකයන් ද මුණගැසුණේය. මුද්‍රණාලයේ ප්‍රගතිය, වැඩිදියුණු කළ යුතු අංශ හා දුර්වලතා මෙන්ම අඩුපාඩු පිළිබඳවත් කරුණු සොයා බැලීය.