මන්ත්‍රී අර්චුනා රඹෑවේදී යකා නටයි-පොලීසිය අධිකරණයට ක‍රුණු වාර්තා කරයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා නමැති සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතිසි නිකුත් කරන්නැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඊයේ (21) ප්‍රතික්ෂේප කළේය. රියදුරු බලපත්‍රයක් හෝ ජාතික හැඳුනුම්පතක් නොමැතිව යාපනය ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මෝටර් රථයක් පදවමින් රබෑව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතිසි නිකුත් කිරීමට පෙර ඔහුට එරෙහිව පවතින වැරදි ඉදිරිපත් කර චෝදනා පත්‍රයක් ගොනු කළ යුතුව ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා පොලීසියේ ඉල්ලීම එසේ ප්‍ර‍තික්ෂේප කළේය.

ඒ අනුව සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ලබන 03 වැනිදා අධිකරණයට ගොනුකරන ලෙසට අනුරාධපුර පොලීසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුව නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ද පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර පොලීසිය අධිකරණයට පවසා සිටියේ පෙරේදා රාත්‍රියේ සැකකාර මන්ත්‍රීවරයා යාපනය ප්‍රදේශයේ සිට ඒ නවය මාර්ගය ඔස්සේ රඹෑව හරහා කොළඹ දෙසට මෝටර් රථයක් ධාවනය කර ඇති බවය.

එම අවස්ථාවේ රබෑව විස්සේ කණුව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකාර මන්ත්‍රීවරයා පරීක්ෂා කර ඇති බව ද ප්‍රකාශ කළ පොලීසිය එම පරීක්ෂාවේදී සිය රියැදුරු බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත පොලීසියට ඉදිරිපත් කිරීමට සැකකරු අපොහොසත් වී ඇති බව ද සඳහන් කළේය.

සැකකරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව පවසමින් පොලීසියට තර්ජනය කර සාපරා දී බලහත්කාරය පා එම ස්ථානයෙන් පිටව යාමට උත්සාහ දරා ඇති බව කියා සිටි පොලීසිය මෙම රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනා සිය රාජකාරී මැනවින් ඉටුකර ඇති බව ද ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියාවලියේ දී සැකකාර මන්ත්‍රීවරයා රථවාහන පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි කර ඇති බවත් ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගෙන සැකකාර මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතිසි නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොලීසිය දැක්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නොතිසි නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම ඉවත දමමින් ඔහු කර ඇති වැරදි සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පෙබරවාරි මස තුන දින චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට පොලීසියට නියම කළේය.

අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වින්ස්ක්‍රීනයේ නිවෙන දැල්වෙන රතු සහ නිල් පැහැති විදුලි බුබුළු ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර දෙසට අධික වේගයෙන් ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් නතරකර ඇත්තේ පෙරේදා (20) රාත්‍රි කාලයේදීය. මෝටර් රථ වාහන පනතේ විධිවිධානයන්ට අනුව එවැනි විදුලි බුබුළු දැල්වීමට අවසර ඇත්තේ අවසර ලත් වාහන සඳහා පමණි. පොලීසිය, ගිලන් රථ සහ ගිනි නිවීමේ රථ සඳහා එවැනි විදුලි පහන් සවිකිරීමට අවසර ඇතත් සෙසු වාහනවලට එවැනි අවසරයක් නොමැති බව පොලීසිය කියයි. ප්‍රභූවරුන් ලෙස හැඟවෙන ආකාරයට විවිධ පුද්ගලයන් මෙවැනි විදුලි පහන් වාහනවල යොදා රාත්‍රි කාලයට ධාවනය කළද එය නීතියෙන් තහනම් බවත් එවැනි වාහන නීතියේ රැහැනට හසුකරගන්නා ලෙසත් එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස්පතිවරයාව සිටි 2015 වසරේ දී දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට නියෝගයක් ද ලබා දී තිබී ඇත.

එම නියෝගය ඉලංගකෝන් මහතා 2016 වසරේ පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නිසි ලෙස ක්‍රියාත්මක නොවූවත් වර්තමාන වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා යටතේ නැවතත් එම නියෝග ක්‍රියාත්මක වෙමින් තිබේ. රඹෑවේදී රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් එවැනි විදුලි පහන් සවිකර මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් නතරකර ඇත්තේ රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීමටය.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ රියැදුරු පොලිස් නිලධාරීන් සමඟ ගැටුමකට මුල පුරා ඇත්තේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු සැසිවාරයට යමින් සිටින තමාව නතර කිරීමට පොලීසියට බලයක් නැතැයි සඳහන් කරමිනි.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නතර කරන්න පුළුවන් ද, ඔයාලා සිංහල මන්ත්‍රීවරු නතර කරනවද, ඔයාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නතර කරලා ලයිසන් ඉල්ලන කොට අපි කොහොමද පාර්ලිමේන්තු යන්නේ, පාර්ලිමේන්තු යනකොට නතර කරන්න බෑ කියලා ඔබතුමාලා දන්නේ නැද්ද, ඔයාලගේ රාජකාරියට වඩා මගේ රාජකාරිය ලොකුයි, සිංහල තේරෙනවද? ඕන නඩුවක් දා ගන්න,

‘මෝඩයෝ වගේ කතා කරන්න එපා, අපේ තාත්තත් පොලීසියේ, පොලීසිය ගෞරවය නැති වෙන්නේ ඔයාලා වගේ අය නිසා, මේ මඟුල් පාස් එකක්ද දීලා තියෙන්නේ යකෝ, මේක ෆොටෝ කොපියක් ද? මේක මම පාර්ලිමේන්තුවේ කතා කරනවා, මාධ්‍යයට දෙනවා, ඕ ලෙවල් කරලා සාජන්ලා වෙලා මෝඩයෙක් වගේ, මේ පාස්එක පාර්ලිමේන්තු සෙකට්රි අත්සන් කරපු පාස් එකක්, ඔයාලගේ, සිංහල බම්බු පාර්ලිමේන්තුව දීලා තියෙන්නේ මේ මඟුල” යැයි එහිදී මන්ත්‍රීවරයා පවසා තිබේ.

“ඕයි, යකෝ, මෝඩයෝ” යැයි කියමින් පොලිස් නිලධාරීන්ට අපහාස පරිබව කරමින් ඉතා නරක ලෙස අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා එහි දී හැසිරී ඇතත් පොලිස් නිලධාරීන් ඊට ප්‍රතිචාර කිසිවක් නොදක්වා සංයමයකින් දිගින් දිගටම ඔහුගෙන් ඉල්ලා ඇත්තේ රියැදුරු බලපත්‍රය පමණි.

දිගින් දිගටම විවිධ ආකාරයට පොලිස් නිලධාරීන්ට අපහාසාත්මක ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පෙන්වමින් ගැටුම්කාරී ලෙස හැසිරී ඇති අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට එරෙහිව එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් නීතිය කියාත්මක කර නැත්තේ ඔහු පාර්ලිමේන්තුවට යමින් සිටින බව පැවසීම හේතුවෙන් ඊට ගරු කිරීමක් ලෙස බව උතුරුමැද පළාත් වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස්පති ධුරයේ වැඩ ආවරණය කරනු ලබන බුද්ධික සිරිවර්ධන මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා යාපනය පොලිස් ස්ථානයට ද, යාපනය රෝහලට ද ගොස් කලහාකාරී ලෙස හැසිරී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ද වාර්තා කර ඇත. ඒ හැරුණු කොට යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී රාජ්‍ය නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකරගෙන තිබුණු අතර බත්තරමුල්ලේ දී ද සිවිල් පුරවැසියෙක් සමඟ ද ගැටුමක් මෑතක දී ඇති කරගෙන තිබිණි. මංගල පාර්ලිමේන්තු දිනයේ දී පවා අර්චුනා මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ රැඳී සිටිමින් කලබලයක් ඇතිකර ගත්තේය.