කෙරවලපිටියේ යෝජිත බහලුම් නිෂ්කාශන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ප්‍රමාද වී ඇත්තේ හිටපු බලධාරීන්ගේ උනන්දුව හා කැපවීම නැතිකමත් වංචා දූෂණත් නිසා බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (20) කෙරවලපිටිය යෝජිත බහලුම් නිෂ්කාශන මධ්‍යස්ථාන භූමිය නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමිනි.
මොරටුවෙන් දුම්රියේ නැඟුණු ඇමැතිවරයා දුම්රිය මගීන් සමඟ දුම්රියේ අඩුපාඩු හා සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් කොළඹ කොටුව දක්වා පැමිණ පසුව කෙරවලපිටියට පැමිණියේ යෝජිත අංගණ භූමිය පරීක්ෂා කිරීමටය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. මෙය කොළඹ වරාය තදබදය අවම කිරීමටත්, රේගු පරීක්ෂණ කටයුතු පහසු කර ගැනීමටත් රේගු පරීක්ෂණ මධ්‍යස්ථානයක් විදියට ආසියානු සංවර්ධන බැංකුවේ ණය පහසුකම් යටතේ සංවර්ධනය කරන්න සැලසුම් කරපු අක්කර 20කට ආසන්න භූමියක්. මෙහි නීත්‍යණුකූල අයිතිය නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතුයි. අධිවේගී මාර්ගයට ආසන්නව පිහිටි මෙම ස්ථානයට මාර්ග ගණනාවකින් පැමිණීමේ හැකියාව තිබෙනවා. කර්මාන්ත කලාපයක් වගේ ගොඩනඟලා තියෙන ප්‍රදේශයක් නිසා ජනතාවට හිරිහැරයක් නැහැ. රේගු පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකරන්න ගත යුතු තත්ත්ව වාර්තා පරිසර වාර්තා සියල්ල 2021 වන විට අරන් තියෙන්නේ.
ඉකුත් දෙසැම්බර් මාසේ රේගු පරීක්ෂණ කටයුතු සමඟ තිබෙන ගැටලු විසඳන්න මගේ සභාපතිත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත්කළා. මේ සම්බන්ධයෙන් මධ්‍යකාලීන විසඳුමකට යන්න අපි උත්සාහ කරනවා. ඒ අනුව කඩිනමින් රේගු පරීක්ෂණ මධ්‍යස්ථානයක් ගොඩනඟමින් වරායේ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉඩම සංවර්ධනය කිරීමෙන් අනතුරුව රේගු පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ සවිකරන්න ඕනේ. මෙහි කටයුතු අවසන් කරන්න වසර තුනක් යන බවයි කියන්නේ. සියලු වාර්තා අරන් තියෙන නිසා වසර තුනකට පෙර මේ කාර්යය අවසන් කරන්නයි අපි හිතන්නේ.
මේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ප්‍රමාදවෙලා තියෙන්නේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ප්‍රශ්නයක් ආවම ඒකට ස්ථිර විසඳුමක් දෙනවා වෙනුවට සිද්ධ වෙලා තියෙන්නේ ඒ වෙලාවට ප්රශ්නය විසඳන එක විතරයි. ඊට පස්සේ ප්රශ්නය අමතකයි. මේ ඉදිකිරීම්වල ප්‍රමාද වෙලා තියෙන්නේ උනන්දුව නැතිකම, කැපවීම නැතිකම, වංචා දූෂණ නිසයි. අපි එවැනි වංචා දූෂණ වෙන්න දෙන්නේ නැහැ. බහලුම් තදබදයට හේතු වෙලා තිබුණ පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොවීම, රාත්‍රි කාලයේ පරීක්ෂා නොකිරීම, ලොරි රියදුරන් අතරමඟ රථ නතර කරන් සිටීම, ස්කෑන් මැෂින්වල අඩුපාඩු වැනි දේවල් කඩිනමින් විසඳුවා. මේ දිනවල රතු මුහුදේ තත්ත්වය අපේ වරායට වාසියක්නේ. ඒ නිසා වැඩි නැව් ප්‍රමාණයක් කොළඹ වරායට එනවා.
ගෙවුණු සතියේ ජනාධිපතිතුමා දුන්න උපදෙස් අනුව සියලු දෙනා වැඩ කරන බව පේන්නේ නැහැ. පැය 24 වැඩ කරන්න කිව්වට සමහර අංගණවල වැඩ නතර වෙනවා. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවේ ඉඩමක් සුද්ද කරලා ලොරි එනකල් බලන් හිටියාට ලොරි එන්නේ නැහැ. වාප්පු ලිපිකරුවන්ගෙන් සහයෝගයක් ලැබෙන බවක් පේන්නේ නැහැ. සමහරු ගෙවුණු නිවාඩු දවස් ප්‍රයෝජනයට ගත්තේ නැහැ. නිලධාරීන්ගේ වගේම පෞද්ගලික අංශයේත් වැරදි තියෙනවා. පෞද්ගලික අංශයේ කෙනෙක් කිව්වා කොවිඩ් නිසා ස්ටාෆ් අඩු කරන්න වුණු බවක්. කොවිඩ් ඉවරවෙලා අවුරුදු දෙකක් වෙනවා. වරාය ඉතිහාසයේ වැඩිම කන්ටේනර් එන්නේ මේ කාලේ. ඒ කියන්නේ ලාභේ වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා නම් ස්ටාෆ් බඳවා ගන්න පුළුවුන්. බ්ලූමැන්ඩල්වල ඉඩමක් ආහාර වැනි දේවල පරීක්ෂණ පැවැත්වීමට වෙන් කරනවා. ප්රශ්නය විසඳන්න අපි පියවර ගන්නකොට අනික් අයගෙනුත් ඒකට සහයෝගය ඕනේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහ මහතා
වරාය තදබදය අලුත් එකක් නෙවෙයි. සැරින් සැරේ එන ප්‍රශ්නයක්. වරාය ඇතුළේ කන්ටේනර් හැකි ඉක්මනින් වරායෙන් පිටතට ගෙන යන්නයි අපි උත්සාහ කරන්නේ. සෝදිසි කිරීම් අඩු නොකර ප්රශ්නය විසඳාගන්න ඕනේ. රතු මුහුදේ ඇති වුණ තත්ත්වය නිසා කන්ටේනර් වැඩි ප්‍රමාණයක් අපේ වරායට ආවා. 2024 අවසානයේ විශාල බහලුම් ප්‍රමාණයක් ආවා. එතකොට අංගණ පිරෙනවා. අංගණ පරිමාව වැඩිකළාම මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා. සියල්ල එකිනෙකට බැඳිලි තියෙන ප්‍රශ්නයක්. තනියෙන් විසඳුම් හොයන්න බැහැ යැයි කීවේය. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස ඇමැති අනුර කරුණාතිලක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ ඇතුළු නිලධාරීහු පිරිසක් එක් වූහ.