පාතාල රාජ්‍යයකට අපෙන් ඉඩක් නැහැ
බදු නොගෙව්වොත් නැවත ව්‍යාපාර ආරම්භ කරන්න බැහැ
යුක්තිය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ තිතට යනවා
අමාත්‍යාංශවල හිටපු ඇමැතිවරු ඒවා අවුල් ජාලා කරලා – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස
මේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට වත්මන් රජය ක්‍රියා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (19) ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද සුහද හමුව අමතමිනි.
ආණ්ඩු, ආණ්ඩු අතර එකඟතාවකින් තෙල් ලබා ගැනීමට හැකිදැයි මේ වනවිට මැදපෙරදිග තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරන බවද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මේ රට දියුණු කිරීමට බදු ගෙවන කණ්ඩායම් බදු ගෙවිය යුතු බව ද පැවසීය.
උතුරු පළාතේ අලුතින් පොල් අක්කර 40,000ක් වගා කරන්න පුළුවන් බව අප හඳුනාගෙන තිබෙනවා.
එළඹෙන අයවැය ලේඛනයෙන් එම වගා සඳහා සහන දෙන්න සූදානම්. පොලීසියේ මාරු කිරීම් කරන්නේ පොලිස් කොමිසමෙන්. සමහර මාරුවීම් කිරීමට මේ කොමිසම අදිමදි කර තිබෙනවා. ඒ කොමිසම ගැන මමත් ඉන්නේ ටිකක් අදිමදියක තමයි. චංචා දූෂණ කළ අයගේ දේපළ පවරා ගැනීමට කටයුතු කරනවා. සැකයක් තියා ගන්න එපා. එක්තරා හමුදා කඳවුරක ටී-56 අවි 73ක් පාතාලයට ඇවිත් තියෙනවා. ඉන් 38ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තව 35ක් සොයනවා යනුවෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා –
අපේ රටේ දේශපාලනයේ විශාලම හැරවුම, විශාලතම පෙරළිය සිද්ධ වෙලා තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසේ 21 දින අපට හැකියාව ලැබුණා පොදු ජනතාව අතට බලය මාරු කර ගන්න. ඒක සාමාන්‍ය තත්ත්වයක් නොවේ. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළ පාලක කණ්ඩායම්වලින් පොදු ජනතාව අතට බලය මාරු කර ගන්න ලැබුණා. හැබැයි 21 දින බලය ගන්න කොට අපට තිබුණේ ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේ තව මන්ත්‍රී ධුර දෙකකුත් විතරයි. තුන් දෙනෙක්ගේ කැබිනට් මණ්ඩලයක් හදලා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සූදානම් වුණා. පසුගිය නොවැම්බර් 14 දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවා. ඒ මැතිවරණයෙන් ලංකා ඉතිහාසයේ මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබා ගන්නා ලද වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාව අරගෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටෙව්වා.
මේ ජයග්‍රහණය මුළුමනින්ම රඳා පවතින්නේ ජනතාව අතේ. මීට පෙර ආණ්ඩු හදා තියෙනවා. ආණ්ඩු පෙරළා තිබෙනවා. ඒ ආණ්ඩු හදන්න විවිධ කුමන්ත්රණකාරී වැඩ වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාර වගේ ඒවා. බය වෙන්න එපා පරීක්ෂණය තිතට යනවා. එහෙම නැත්නම් විශාල ලෙස සල්ලි පොම්ප කර තිබෙනවා. සාරි, ඔරලෝසු, හාල්, තහඩු බෙදනවා. එහෙම නැත්නම් මාධ්‍ය මහා ඔළු සේදීමට ලක් කරනවා. ආණ්ඩු හදන්න මැදිහත් වෙලා තිබෙනවා. සමහර විට විවිධ රාජ්‍යයන්ගේ මැදිහත් වීමෙන් ආණ්ඩු පෙරළා තිබෙනවා. ආණ්ඩු හදලා තිබෙනවා. එහෙම නැත්නම් මුළුමනින්ම රාජ්‍ය බලය උපයෝගී කර ගනිමින් ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු ආරක්ෂා වෙලා තිබෙනවා. හැබැයි ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදුනා කුමන්ත්‍රණ නැති, විදෙස් මැදිහත්වීම් නැති, මුදල් බෙදන්නේ නැති, මාධ්‍ය බලය නැති, රාජ්‍ය බලය නැති කණ්ඩායමක් ආණ්ඩුවක් හැදුවා. ඒක පිටුපස හිටියේ මහ ජනතාව.
ඒ නිසා මේ ජයග්‍රහණයේ ගෞරවය, වටිනාකම වැඩියෙන්ම ලබාදිය යුතු වන්නේ ජනතාවට. ඒ නිසයි අපි ඒ සඳහා ක්‍රියාකාරී වූ කණ්ඩායමක් මුණගැසී කළුතරට පැමිණ ස්තුතිය පළ කරන්නේ. මේ රටේ විශාල පරිවර්තනයක් කිරීමට පෙරමුණ ගැනීම පිළිබඳව එම ජනතාවට ස්තුතියි. අප බලයට පැමිණියොත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් එයි, දානය අහිමි වෙයි, පෙරහර නතර වෙයි, විදෙස් සංචිත නැති වෙයි, විදෙස් සබඳතා නැති වෙයි කියා එදා අපට විරුද්ධ කණ්ඩායම් ජනතාව කොච්චර බය කෙරුවා ද? ඒ සියල්ලට මුහුණ දෙමින් විශාල ජනතා ජයග්‍රහණයක් ලබා ගන්න ජනතාවට හැකි වුණා.
දැන් ආණ්ඩුවක් ලෙස අපේ වගකීම මොකක්ද? ජනතාවාදී පාලනයක් ගොඩ නැඟීම වෙනුවෙන් මැදිහත් වූ ජනතාවට පෙරළා සේවය කිරීම ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වගකීමක්. පසුගිය මාස දෙක තුළ අප යම් යම් පියවර ගත්තා.
ඉස්සර කළුතර පාරේ යන විට ඇමැති ධුර ඇඟේ හැප්පෙනවා. අද එහෙම නැහැ. රටක් හදන්න ඕනෑකම තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට තනතුරු වරප්‍රසාද දී නොවේ. වගකීම් නිසි පරිදි දීලා එම කාර්යයන්ට නායකත්වය දෙන්න සමත් වන කැබිනට් මණ්ඩල තිබිය යුතුයි. ඉස්සර කැබිනට් මණ්ඩල හැදුවේ එක එක්කෙනා සතුටු කරන්න. වෙනදා ඇමැති මණ්ඩලයේ තනතුරු බෙදන්නේ තමන්ගේ ඥාතීන්ට. ලොකු අයියා අගමැති වෙනවා. පොඩි මලයා ආර්ථික කටයුතු ඇමැති වෙනවා. ඥාති පුතා කෘෂිකර්ම ඇමැති වෙනවා. එහෙම සංස්කෘතියකට මේ රටේ ජනතාව නැවත ඉඩ දෙන්නේ නැහැ.
ජනාධිපතිවරයාට කිට්ටු අයට ද ඇමැතිකම් ලැබෙනවා. වැඩියෙන් ස්තෝත්ර ගායනා කරන කෙනාටත් එදා ඇමැතිකම් හිමි වුණා. පස්සේ තරහ වුණාට කළුතර පැත්තේ යාළුවාට එහෙමයි එදා ඇමැතිකම් ලැබුණේ. ඔහු අඬ අඬා තරහා වුණා. එහෙම තිබුණ රටක් තමයි අප වෙනස් කරන්නේ. අප මේ වන විට විධිමත්ව ඇමැති මණ්ඩලයක් හදලා තිබෙනවා.
වෙනදාට ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට බඳවා ගන්නේ තමන්ගේ ඥාතීන්. ඇමැති බිරිය පෞද්ගලික ලේකම්තුමියයි. පුතා සම්බන්ධීකරණ ලේකම්. මට මතකයි කථානායක මහින්ද යාපා එතුමාගේ කාර්ය මණ්ඩලය යාපා යායක්.
ඉස්සර ඇමැතිවරයෙක් යන විට වාහන කීයක් පිටුපස යනවාද? පොලිස් රථ කීයක් පිටුපස යනවා ද? අද කිසි ඇමැතිවරයෙක් පිටුපස වාහනත් නැහැ. පොලිස් රථත් නැහැ. පොලීසියට විසිඑක්දාහක් නිලධාරීන් මදි. බොහොම අමාරුවෙන් ඒ මහත්වරු වැඩ කරන්නේ. එදා නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා සමහර දේශපාලනඥයෝ නෝනගේ හැට්ටෙ කටු ගහන්න. එහෙම රටක් තමයි අප වෙනස් කරමින් තිබෙන්නේ. එක ජනාධිපතිවරයකුට ආරක්ෂාව සඳහා අවුරුද්දකට වියදම් කර තිබෙනවා මිලියන 700ක්. දැන් ආරක්ෂාව අඩු කළා. දැන් ඉන්නේ හැටයි. පොලිස් නිලධාරීන් ජනතාවගේ ආරක්ෂාවට සිටිය යුතුයි. එදා ඇමැතිවරයා එන විටම ආණ්ඩුවේ ගෙවල් බෙදා ගැනීමට විශාල පොරයක් තිබුණා.
අප කිසිම ඇමැතිවරයකුට ආණ්ඩුවේ ගෙයක් දෙන්නේ නැහැ. එම ගෙවල් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර ගත්තා. ඓතිහාසිකව වටිනා අරලියගහ මන්දිරය ඉතිරි කළා. ජනාධිපති මන්දිරය ඉතිරි කළා. නුවර ජනාධිපති මන්දිරය ඉතිරි කළා. ඉතිරි ඒවාට කරන්නේ කුමක්ද කියා සොයන්න අප කමිටුවකට භාර කළා. ඒ පිළිබඳව එම කමිටුව තීරණයක් ගනියි. හෝටලයක් දාන්න පුළුවන් තැන්වල හෝටලයක් දානවා. කෞතුකාගාර කරන්න පුළුවන් තැන්වල කෞතුකාගාර නිර්මාණය කරනවා. අධ්‍යාපන මධ්‍යස්ථාන කරන්න පුළුවන් තැන්වල අධ්‍යාපන මධ්‍යස්ථාන හදනවා.
අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දෙන්නේ නැහැ කියලා.
මම දැන්මම ලියුමක් දෙනවා මට නම් එපා කියලා. මම මේ ළඟදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් යවලා තක්සේරු කළා කීයක් වටිනවාද කියලා. තාම ඉඩම තක්සේරු කරගන්න බැරි වුණා. ගෙදර තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46යි. පනතේ තිබෙනවා එක්කො, හිටපු ජනාධිපතිවරයාට ගෙයක් හිමියි. නැත්නම් පඩියෙන් තුනෙන් එකක් හිමියි. අපි ගේ ගන්නවා. පඩියෙන් තුනෙක් එකක් දෙනවා තිස්දාහක්. එහෙම නැත්නම් මාසේ කුලියට ඉතුරු සල්ලි ටික දීල ඒ ගෙදර සිටිය හැකියි. කුලිය දුන්නේ නැත්නම් එළියට.
චන්ද්‍රිකා මහත්මිය ඉන්න ගේ තක්සේරු කරන්න ගියා. එතුමිය කීවා ලන්ඩන්වල ඉන්නේ කියලා. දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් ඒක තක්සේරු කරන්න යවනවා. ජනතාව දැන ගන්න ඕනෑ මහජනතාවට අයිති දේපළ මෙම පිරිස් කොතරම් භුක්ති විඳිනවා ද කියලා.
ඇමැතිවරයකුට වාහනයක් දෙනවා. හැබැයි අපට ඒ සඳහා සොයා ගන්න සරල වාහනයක් නැහැ. අප වගේ කුඩා රටකට ඔරොත්තු නොදෙන වාහන තමයි තිබෙන්නේ. අප මේ වාහන වෙන්දේසි කර භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනවා. අපගේ වැඩ පිළිවෙළ පිළිබඳව ද සමහරු කෙඳිරි ගානවා. දුක කියනවා. ඔවුන්ට තව දශක එකහමාරක් විතර අඬ අඬා ඉන්න වෙනවා. අප සිදු කරන දේශපාලන පරිවර්තනය රටට අවශ්‍ය යි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනෙනවා. දැන් පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන ලොකු විවාදයක් තියෙනවානේ. තව සතියක් දෙකකින් සිදු වන දේ මම කියන්නම්. කෑම එක ඔතාගෙන පාර්ලිමේන්තුවට එන්න කියා අප කියන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවෙන් කෑම එක ගන්නවා නම් නියම මුදල ගෙවන්න ඕනෑ. කෑම එකට රුපියල් 2000ක් යනවා නම් 2000ක් දෙන්න. මේක අපි කරනවා. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දුන්නා. ඒවා විකුණනවා. ජනාධිපතිවරුත් පර්මිට් ගත්තා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නෙ නැහැ.
මේ රටේ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීමට ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා. අප භාර ගත්තේ පතුලටම වැටුණු රටක්. හැබැයි අපි පොරොන්දු වෙනවා මේ රටට එවැනි ඉරණමක් අත්වෙන්න අප ඉඩ තියෙන්නේ නැහැ කියා. අප පියවරෙන් පියවර මේ රට ශක්තිමත්ව ගොඩ නඟනවා.
මේ වන විට ලෝකයේ විශාල වෙනස්කම් සිදු වෙනවා. හුදකලාව කාටවත් ජීවත් වෙන්න බැහැ. අප ලෝකයේ රාජ්‍යයන් සමඟ ශක්තිමත් මිතුරු සබඳතා ගොඩ නඟා ගන්න ඕනෑ. එහිදී ඉන්දියාව වැදගත්. අපගේ සංවර්ධන මාවතේදී ඉන්දියාව අපේ මිතුරෙක්. අප ආණ්ඩුව පිහිටුවා ඉතා කෙටි කාලයකින් ඉන්දියාවට ගොස් එම සබඳතාව තව තවත් ශක්තිමත් කර ගත්තා.
ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලයයි ඉන්දියානු සමාගමකුයි එක් වී සමාගමක් හදනවා. දෙගොල්ලටම සියයට පනහ අයිතියි. අපට තනියම එහෙම බලාගාරයක් ගොඩනැඟීම සඳහා ප්රාග්ධනය නැහැ. ඒ නිසා අප ආයෝජන කැඳවිය යුතුයි. අප කීවා එකතු වී බලාගාරය හදමු කියා. අපේ විදුලිබල මණ්ඩලයයි, ඉන්දියානු සමාගමයි එක් වී සාම්පූර්වල සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය කරන බලාගාරයක් හදන්න එකඟ වුණා. ඩොලර් ශත 07ක් ලෙස එහි විදුලි ඒකකයක් කලින් පැවැතියා. අප දැන් එකඟ වුණා ඩොලර් ශත 5.97කට. අප ඉන්දියාවට කීවා අපේ තෙල් සංස්ථාවයි ඉන්දියානු සමාගමක් එකතු වී ඒකාබද්ධ සමාගමක් හදමු කියා. පිරිපහදුවක් දැමිය යුතු බව කීවා. අප එම පිරිපහදු කරන තෙල් ලෝක වෙෙළඳ පොළට ලබා දෙමු කීවා. එවිට අප ලෝක වෙෙළඳ පොළට තෙල් දෙන රාජ්‍යයක් බවට පත් වෙනවා. මේ පිළිබඳව අප සාකච්ඡා කරමින් පවතිනවා.
චීන සංචාරයක අප නිරත වුණා. ආරම්භයේදීම චීන රජය අපට රුපියල් දස ලක්ෂ විසිදහසක ආධාරයක් දුන්නා. මෙය නැවත ගෙවන්න අවශ්‍ය නැහැ. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න, පොදු සේවා වර්ධනය කිරීම සඳහා ඒ මුදල් අපට යොදවන්න පුළුවන්. ඒ වගේම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉක්මවා යන ප්‍රදර්ශන සහ සම්මන්ත්රණ ශාලාවක් කොළඹ වරාය නගරයේ ඉදිකරන්න චීන රජය ආධාරයක් දෙනවා. එම කටයුත්ත අප ඉතා ඉක්මනින් පටන් ගනවා. අපට දකුණු ආසියාවේ විශාල උත්සව එම ස්ථානයේ තැබිය හැකියි. කෘෂිකර්මය සඳහා එම තාක්ෂණය ලබා දෙන්න ද අපගේ චීන සංචාරයේ දී ඔවුන් එකඟ වුණා.
මැදපෙරදිග කලාපයෙන්ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට අපට ආරාධනයක් ලැබී තිබෙනවා. දැනටමත් අප මැදපෙරදිග තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරනවා ආණ්ඩු , ආණ්ඩු අතර එකඟතාවකින් තෙල් ගන්න පුළුවන්ද කියා.
අස්වැසුම ආධාර ලැබිය යුතු කණ්ඩායම් වඩා හොඳින් හඳුනාගෙන ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීමට ආධාර දෙන්න අප සූදානම්. අප බැඳී සිටින්නේ මේ රටේ ජනතාවට සේවය කිරීමට. අප බැඳිලා නැහැ මාධ්‍ය ආයතනවලට, ජාවාරම්කාරයන්ට, බදු පැහැර හරින්නන්ට අප බැඳිලා නැහැ. මොවුන් ආණ්ඩුවට ගෙවිය යුතු බදු පැහැර හැර, දේශපාලනඥයන්ට කෝටි ගණන් මුදල් වියදම් කරනවා. බදු පැහැර හැරපු ප්‍රධාන හාල් හිමියෙක් ඉන්නවා. ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මේ අයට බදු සහන අවශ්‍ය නම් දෙන්න පුළුවන් ව්‍යාපාර නැවත ආරම්භ කරන්න. හැබැයි බදු නොගෙවා ආරම්භ කරන්න බැහැ. ජාතික ජන බලවේගය ආණ්ඩුව පොල් අර්බුදය නැවත මතු නොවන ආකාරයේ පොල් නිෂ්පාදනය වැඩි කිරීමේ සැලසුමක් හදලා තියෙනවා. අපේ රට පත් වෙලා තිබුණේ ඉබාගාතේ යන තත්ත්වයට. වී ගබඩා දිරාපත් වෙලා තිබුණේ. අප ඒවා දැන් ප්‍රතිසංස්කරණය කරනවා, මේ රටේ යළි හාල් අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. තියෙන සහතික මිල ඉක්මවා යන්න ඉඩ දෙන්නෙත් නැහැ. ලියාපදිංචි නොකර කිසි කෙනකුට හාල් තොග රැස් කරන්න ඉඩ දෙන්නේ නැහැ.
අප තොග ගණන් රැකියා දෙන සංස්කෘතියට යන්නේ නැහැ. අප ආයතනවලට අත්‍යවශ්‍ය පුරප්පාඩු කියන්න කියා තිබෙනවා. ඒ පුරප්පාඩු එළඹෙන අයවැය ලේඛනයෙන් අප පුරවනවා. පොලීසියේ මාරු කිරීම් කරන්නේ පොලිස් කොමිසමෙන්. සමහර මාරුවීම් කිරීමට මේ කොමිසම අදිමදිකර තිබෙනවා. ඒ කොමිසම ගැන මමත් ඉන්නෙ ටිකක් අදිමදියක තමයි. අදාළ මාරුවීම් සාධාරණව ඉටු වෙයි කියා අප සිතනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නයා කාපු ෆයිල් පවා උඩට එනවා. මේ මාසේ අග වෙන විට නඩු කීපයක් පවරයි. පෙබරවාරි වන විට තව නඩු කිහිපයක් පවරයි. හමුදා කඳවුරුවල තිබෙන ආයුධ එළියට ඇවිල්ල තියෙනවා. හමුදාව ඇතුළේ පාතාලය සමඟ සම්බන්ධකම් පවත්වන කිහිපදෙනෙක් ඉන්නවා.
පාතාල රාජ්‍යයකට අප ඉඩ දෙන්නෙ නැහැ. මේ මාසෙ අග මම පාතාලයට, කුඩුවලට එරෙහිව ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙනවා. අපට හොඳ රාජ්‍යයක් අවශ්‍යයි. විදුලිබලය අප අඩු කර තිබෙනවා. මේ සතියේ මම විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කැඳවා තිබෙනවා. මොකද විදුලි බල මණ්ඩලය වැටෙන්න දෙන්න බැහැ.
අපේ රට මේ වනවිට අලුත් තත්ත්වයකට පරිවර්තනය වී තිබෙනවා. අප මාර්ග නීති විනය තදින්ම ක්‍රියාත්මක කරනවා. අප හොඳ නගරබද බස් සේවාවක් පටන් ගන්නවා. චීන රජය සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කළා. පොදු ප්‍රවාහනය අප ශක්තිමත් කරනවා. මීරිගම – කඩවත අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම පිළිබඳව චීන රජයත් සමඟ සාකච්ඡා කළා.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා –
මේ රටේ ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කළා. ජාතික ජන බලවේගයට පාර් ලිමේන්තුවේ ආසන 159ක් ලබා දුන්නා. ඒ ආකාරයටයි මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තැබුවේ. ඒක හෘදයාංගම විශ්වාසයක්. දැන් අපට තිබෙන්නේ ජනතාව ලබා දුන් බලය උපයෝගී කරගෙන මේ රට ඉහළින් ගොඩ නැඟීමයි.
අපට මුල සිට මේ රට ගොඩ නගන්න සිදු වී තිබෙනවා. අපේ අමාත්‍යාංශවල හිටපු අය අවුල් ජාලා බවට පත්කර තිබෙනවා. ජනතාව මත බර පැටවීමකින් තොරව අප රට මෙහෙය විය යුතුයි. සියලු ප්රතිලාභ ජනතාවට ලබා දෙන්න ඕනෑ. ප්‍රබල සමාජ වෙනසක්, ජනතාවට සතුටින් ජීවත් විය හැකි සමාජයක්, අභිමානවත් රටක් ගොඩ නගන්න තමයි මේ ආණ්ඩුව පදනම දමමින් තිබෙන්නේ. අපි ඒ සඳහා කැප වෙමු.