ශ්‍රේෂ්ඨ දමිළ කවියකු සහ දාර්ශනිකයකු වන තිරුවල්ලුවර්තුමාට උපහාරයක් ලෙස යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිඳුම සුනිල් සෙනෙවි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කිරීම සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායම්, යාපනය නාගරික කොමසාරිස් එස්. ක්‍රිෂේන්ද්‍රන්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අතපත්තු, යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජනරාල් සායි මුරලි මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ යාපනයේ කලාකරුවෝ රැසක් සහභාගි වූහ.
අමෙරිකානු ඩොලර් මිලයන 12ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ඉදිකරන ලද මෙම මධ්‍යස්ථානය උතුරු පළාතේ ජනතාවගේ පොහොසත් සම්ප්‍රදායන්, කලාවන් සහ අභිලාෂයන් සඳහා ඉඩහසර ලබා දෙයි. මෙම සුවිශේෂ අති නවීන ගොඩනැඟිල්ල මහල් දෙකක් පුරා පැතිරුණු කෞතුකාගාරයක්, ප්‍රේක්ෂකයන් 600කට වැඩි පිරිසකට අසුන්ගත හැකි රංග පීඨ ආකාරයේ අති නවීන ශ්‍රවණාගාරයක්, එකළොස් මහල් ඉගෙනුම් කුලුනක් සහ එළිමහන් රංග පීඨයක් ලෙස ද භාවිත කළ හැකි පොදු මහජන චතුරස්‍රයක් යනාදී විවිධ පහසුකම්වලින් සමන්විත වේ.
මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා මුල්ගල, ඉන්දීය අගමැතිවරයා විසින් 2015 මාර්තු මස සිදු කළ ඓතිහාසික යාපනය සංචාරය අතරතුරදී තබන ලද අතර 2022 මාර්තු මාසයේදී විවෘත කරන ලදි. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය 2023 පෙබරවාරි මාසයේදී ජනතා අයිතියට පත්කෙරිණි.
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙම අවස්ථාව අමතමින් ප්‍රකාශ කළේ මෙම මුලපිරීම ශ්‍රේෂ්ඨ තිරුවල්ලුවර්තුමාට උපහාරයක් පමණක් නොව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෙදා හදා ගන්නා ඉතිහාසයක, සංස්කෘතියක සහ දෙරට අතර පවතින සුවිශේෂ සහ අවියෝජනීය සම්බන්ධයේ සැමරුමක් වන බවයි. මෙම අවස්ථාව තිරුවල්ලුවර්තුමාගේ ඥානයේ මඟපෙන්වීම ලබමින් සංස්කෘතිය, සහයෝගිතාව සහ පොදු සෞභාග්‍යයෙන් පොහොසත් අනාගතයක් සඳහා වන ගමනක ඇරඹුමක් වන බව එතුමා සඳහන් කළේය. මෙම මධ්‍යස්ථානය තිරුවල්ලුවර්තුමාගේ ඉගැන්වීම්හි ජීවමාන ප්‍රතිමූර්තියක් බවට පත් කරන මෙන් එතුමා යාපනයේ සහ උතුරු පළාතේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.