පන්විල පොලිස් වසමේ හුළුගඟ බැද්දේගම මාර්ගයේ බැද්දේගම පාලම අසල දී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් අඩි 300ක පමණ බෑවුමක් ඔස්සේ මොරගහ ඔයට පෙරළීමෙන් එහි ගමින් ගත් අඹුසැමි යුවළක් මියගොස් තිබේ. අනතුර ඊයේ (19) පස්වරු 2.00ට පමණ සිදුව තිබෙන අතර ජීප් රථයේ රියැදුරු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට පොලීසිය සැක කරයි. අනතුරින් කාන්තාවක් සහ තවත් අයෙකු තුවාල ලබා පන්විල රෝහලට ඇතුළත් කර තිබේ. මියගොස් ඇත්තේ බද්දේගම තවලම්තැන්නේ පදිංචි 82 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන කපුරුකැටියේ ප්‍රේමසුන්දර හා ඔහුගේ බිරිය වන 77 හැවිරිදි ආර්.ජී. කරුණාවතී නමැති විශ්‍රාමික ගුරුමාතාවකි.මියගිය යුවළ මහනුවර පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ බිරියගේ මව සහ පියා බව පොලීසිය පවසයි.
ජීප් රථයේ ගමන් ගත් පිරිස ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වී ආපසු නිවෙස බලා යමින් සිටිය දී මේ අනතුරට මුහුණ පා ඇත. දියේ ගසාගෙන ගොස් අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රොෂාන් අමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පන්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.