- පවුල් 10ක පුද්ගලයෝ 51ක් යාපනේ 219ක් පීඩාවට
- ජලාශ 73න් 58ක්ම වාන් දමයි
- ගල්ඔය සහ මල්වතුඔය ද්‍රෝණිවලට අනතුරු ඇඟවීම්
උතුරු, උතුරු-මැද, නැඟෙනහිර, ඌව, මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සමඟ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පැවසීය. අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී. නැඟෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 -2.5 ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී. ඊයේ(19) පස්වරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී. 178ක් ලෙස ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා විය. ඊයේ පස්වරුව වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ 73න් ජලාශ 58ක් වාන් දමමින් පැවැති බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පැවසීය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පෙරේදා (18) ප.ව 6.00 සිට ඊයේ(19) පෙ.ව 6.00 වන විට කුරුණෑගල, අනුරාධපුරය, නුවරඑළිය දිස්ත්‍රික්වල තද සුළං, ජල ගැලීම්, ගිනි ගැනීම් හේතුවෙන් පවුල් 10ක පුද්ගලයන් 51 දෙනෙක් බලපෑමට ලක්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි. අර්ධ නිවාස හානි 09කි. ආරක්ෂිත ස්ථාන 04ක පවුල් 09ක පුද්ගලයන් 46ක් සිටි බවද එහි සඳහන් වේ. ඊයේ(19) පෙරවරුව වන විට මහවිලච්චිය, මහකනදරාව, රාජාංගණය, නාච්චාදූව, කලාවැව, නුවරවැව, අංගමුව, මානන්කට්ටිය, වාහල්කඩ, පදවිය, දැදුරුඔය, මින්නේරිය, කවුඩුල්ල, මොරගහකන්ද, පරාක්‍රම සමුද්‍රය, උල්හිටිය – රත්කිඳ, සේනානායක සමුද්‍රය ජලාශවල වාන් දොරටු විවෘත කර තිබිණ. බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳව අනතුරු ඇඟවීමේ දෙවන සහ පළමු අදියරේ නිවේදන නිකුත් කර තිබේ. අද පෙරවරුව දක්වා එම අනතුරු ඇඟවීම් වලංගු වේ.
මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කමම්, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මල්වතුඔය ද්‍රෝණියේ වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් ප්‍රාදේශීය කොට්ඨාස සඳහා රතු නිවේදන නිකුත් කර ඇත. මුන්දෙනි ආරු ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා –
අවුකන විහාරස්ථානය අසල මාර්ග අවහිර වීමක් ඊයේ වාර්තා වුණා. සෝමාවතිය මාර්ගයේ ජල ගැලීම් තවමත් අපට වාර්තා වෙමින් පවතිනවා. මහියංගණය, මහනුවර මාර්ගයේ උඩුදුම්බර හන්දියේ සිට කහටගොල්ල නාන පීල්ල අසල මාර්ගයට ගල් සහ පස් කන්දක් කඩා වැටීම වාර්තා වුණා. පසුව එය යථා තත්ත්වයට පත්කළා .එම ප්‍රදේශයේ තවමත් අවදානම් තත්ත්වයක් පවතිනවා. නුවරඑළිය, හඟුරන්කෙත මාර්ගයේ කඳපොළ සිට කි.මී දෙකක් පමණ හඟුරන්කෙත දෙසට යෑමේදී පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මාර්ගය ඊයේ පස්වරුව වන විට වසා තිබිණ. යාපනය දිස්ත්‍රික්කයේ තද සුළං සහිත තත්ත්වයක් ඊයේ(19) දහවල් වාර්තා වුණා.ඒ නිසා යාපනේ ප්‍රාදේශීය කොට්ඨාසයේ ඉන් පුද්ගලයන් 219ක් පීඩාවට පත්විය. ගල්ඔය ද්‍රෝණියටත් අනතුරු අඟවා තිබේ. ආපදාවලට ලක්වූ සියලු පුද්ගලයන් වෙනුවෙන් ආපදා සහන ලබා දෙනවා. මැදවච්චිය ප්‍රදේශයේ කඩවාරගම වැවේ වැව් බැම්මේ අවදානම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඔනෑම අපදා තත්ත්වයකදී 117 දුරකතන අංකයට දැනුම් දිය හැකිය.