අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්, වෙෙළඳාම හා ජාවාරම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් වගඋත්තරකරුවන් බවට පත් කරමින් කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සෘතුමය වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාව වෙත යොමු කිරීම සඳහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් කර ඇතැයි පැවසෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනය හුදු දේශපාලන එදිරිවාදිකම් මත පදනම්ව ද්වේශසහගතව සහ අනීතික ලෙස සිදු කරන බවය.
එමෙන්ම ඒ හරහා තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් බවට කරුණු අනාවරණය වී ඇති බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඒ අනුව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සිය පෙත්සම මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති අතර ඉදිරියේදී එම පෙත්සමට අදාළව පෙත්සම්කරුගේ නීතිඥයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබේ.