සුප්‍රකට බොලිවුඩ් නළු සයිෆ් අලිඛාන්ගේ නිවෙසට පැන ඔහුට පිහි ප්‍රහාරයක් එල්ල කර පලා ගිය සැකකරු අත්අඩංගුවට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි නුවර සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි තානි දිස්ත්‍රික්කයේදී අත්අඩංගුවට පත්වී ඇති එම සැකකරු 30 හැවිරිදි මොහොමඩ් ෂරිෆුල් ඉස්ලාම් ශෙහ්සාඩ් නමැති බංග්ලාදේශ ජාතිකයකු බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම සැකකරු සයිෆ් අලිඛාන්ගේ නිවෙසට ඇතුළු වී ඇත්තේ සොරකමට බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව මාධ්‍ය හමුවක් කැඳවමින් මුම්බායි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඔහු දින 5 ක කාලසීමාවකට පොලිස් රැඳවුම් භාරයේ තබා ගැනීමට අධිකරණයෙන් අවසර ලැබී තිබේ.
සැකකරු සතුව ඉන්දීය ජාතිකත්වය තහවුරු කරන හැඳුනුම්පතක් හෝ සෙසු ලිපිලේඛන කිසිවක් නොතිබූ බවත්, ලද තොරතුරුවලට අනුව ඔහු බංග්ලාදේශ ජාතිකයකු බවට අනුමාන කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ. බිජෝයි රෝයි නමින් මාස 4කට අධික කාලයක් මුම්බායි නුවර පදිංචි වී සිටි සැකකරු එම කාලය තුළ පෞද්ගලික සමාගමක සුළු රැකියාවක නිරතව සිටි බව ද වාර්තා වේ.
සයිෆ් අලිඛාන්ගේ සිදුවීමෙන් පසු සැකකරු සොයා ගැනීමට සීසීටීවී දර්ශන තුළින් ලබාගත් ඔහුගේ ඡායාරූප ඉන්දියාවේ සියලුම ප්‍රාන්තවල පොලිස් ස්ථාන වෙත යවා තිබූ අතර, ඒ අනුව මුම්බායි නුවර සිට කිලෝමීටර් දහසක පමණ දුරින් පිහිටි චටිස්ගාර්ත් ප්‍රාන්තයේ ඩර්ග් දුම්රිය ස්ථානයේදී ඔහුගේ හැඩරුවට සමාන සැකකරුවකු අත්අඩංගුවට පත්වූ බව වාර්තා වේ. කෙසේ වුවද බංග්ලාදේශ ජාතිකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සැකකරු නිදහස් කර ඇතැයි ද වාර්තා වේ. පිහි ඇනුමෙන් පසු හදිසි සැත්කමකට ලක්වූ සයිෆ් අලි ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.