කොළඹ එස්එස්සී හා සීසීසී අතර සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවට පත්වූ පළමු පෙළ ක්‍රිකට් තරගයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී කමිඳු මෙන්ඩිස් ආබාධයකට ලක් විය. පෙරේදා දිනයේදී ඔහුගේ අත තුවාලවී ඇති අතර, එයට මැහුම් 2ක් දැමීමෙන් පසු එම තරගයෙන් ඉවත්කොට විවේක ගන්වා තිබේ.
මේ හේතුවෙන් එළැඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් හා එක්දින තරගාවලිය සඳහා කමිඳු මෙන්ඩිස්ගේ ආබාධය ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇත. කෙසේ වුවද වෛද්‍යවරු විශ්වාසය පළ කරන්නේ ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට තවත් දින 9ක කාලයක් ඇති බැවින් කමිඳු මෙන්ඩිස්ගේ ආබාධය සුව අතට පත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවය. එසේ වුවහොත් කමිඳු මෙන්ඩිස්ට ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවේ.
එහෙත් පසුගිය නවසීලන්ත සංචාරයේදී ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක තවමත් සුව අතට පත්ව නැති හෙයින් එළැඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සැක සහිතවී තිබේ. නිමාවට පත්වූ නවසීලන්ත සංචාරයේ අවසන් එක්දින තරගයේදී නිස්සංක ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වෙමින් පන්දු 42කදී හයේ 5ක් හා හතරේ 6ක් සමඟ ලකුණු 66ක් ලබාගත් අතර, ඉඟටිය පෙදෙසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් එම්ආර්අයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කොට විවේක ගන්වා තිබේ.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 වැනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර, ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට නායකත්වය ලබාදෙන ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පසුගිය සිකුරාදා පැවති බිග් බෑෂ් ලීග් තරගයක් අතරතුරදී අතේ වැළමිටේ ආබාධයකට ලක්ව ප්‍රතිකාර ගනිමින් සිටී. ඔහු විශේෂඥ වෛද්‍ය උපදෙස් මත මේ සතිය අගදී ඩුබායි බලා පුහුණුවකට යන ටෙස්ට් සංචිතයට එක්වීමට සූදානම් බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය නිවේදනයක් මඟින් පැවසීය.
දෙවන දරුවාගේ උපත සහ වළලුකරයේ ආබාධයක් හේතුවෙන් පැට් කමින්ස් සංචාරයෙන් ඉවත්ව සිටින හෙයින් ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියේදී නායකයා ලෙස ස්මිත් පත් කර ඇත. පැට් කමින්ස් මේ සතියේ සිට විශේෂඥ වෛද්‍යවරු යටතේ පුනරුත්ථාපන උපදෙස් ලබා ගන්නා අතර ශාරීරිකව සූදානම් වීමට සහ සුවය ලැබීමට යම් කාලයක් ගතවනු ඇතැයි පැවසේ.
ටෙස්ට් තරග දෙකට සහභාගිවන ඔස්ට්‍රේලියානු පිල මේ මස 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, පළමු ටෙස්ට් තරගය මේ 29 වැනිදා සිට පෙබරවාරි 2 දක්වා හා දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 6 සිට 10 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ටෙස්ට් තරගාවලිය නිමාවී දිනකින් පසු කොළඹදී එක්දින තරග ආරම්භවන අතර, එම තරග පෙබරවාරි මස 12 හා 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙස පැවැත්වේ.