මෙරටට විශාල ප්රතිලාභ රැසක් අත්කර දෙමින් චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කළ සංචාරයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදු කළ චීන සංචාරය හැඳින්විය හැකිය.
එම සංචාරය පසුගිය 14 වැනිදා සිට 17 වැනිදා දක්වා සිදු වූ අතර, ඒ සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා පසුගිය 13 වැනි දින චීනය බලා පිටත් විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මේ සංචාරයට සහභාගි විය.
14 වැනිදා දින පෙ.ව. 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ ජනාධිපතිවරයා චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ ඇමැති චෙන් ශියාඩොන් මහතා විසින් පිළිගන්නා ලදි. ජනාධිපතිවරයා ගමන් ගත් මාර්ගය දෙපස චීන – ශ්‍රී ලංකා ජාතික ධජවලින් සරසා තිබිණි. 15 වැනි දින පෙරවරුවේ ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය ඇතුළත් ප්‍රදර්ශන ශාලාව නැරඹීමට එක්විය. අනතුරුව ජනාධිපතිවරයා චීනය ඓතිහාසික ස්ථානයක් වන කුං මාලිගා කෞතුකාගාරය නැරඹීය. පසුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ, සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
15 වැනි දින පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව පැවැත්විණි. එම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය. ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අන්දමින් එම පිළිගැනීමේ උත්සවය සංවිධාන කර තිබිණි.
මෙහිදී දෙරටේ නායකයන් අතර සිදු වූ සුහද කතාබහකින් පසුව ද්වි-පාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කෙරිණි. සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව එහිදී චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය. චීන සමූහාණ්ඩුව දශක කිහිපයක් පුරා ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවැසීය. මේ නිල හමුවෙන් අනතුරුව දෙරට අතර ආර්ථික, සාමාජීය, කර්මාන්ත ක්ෂේත්රවලට අදාළව අවබෝධතා ගිවිසුම් ගණනාවකට අත්සන් තබන ලදි.
16 වැනි දින පෙරවරුවේ චීනයේ රාජ්‍ය පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කළ ආයෝජන සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුත් ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස චීන ආයෝජකයන්ට ආරාධනා කරන බවයි. චීනයේ ප්රමුඛ සමාගම් රැසක නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ. අනතුරුව ජනාධිපතිවරයා, චීනයේ ප්රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පැවැත්විය. රජයක් ලෙස ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ සිව්දින චීන සංචාරයේදී මෙරටට හිමි වූ විශාලම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්තිය අමාත්‍යාංශය සහ චීනය සයිනොපෙක් සමාගම අතර ගිවිසුම් අත්සන් තැබීම 16 වැනිදා සිදු විය. මෙය ඩොලර් බිලියන 3.7ක දැවැන්ත ඍජු විදේශීය ආයෝජනයකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහත්වරුන් අතර හමුවක් ද 16 වැනිදා පෙරවරුවේ සිදු වූ අතර, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැප වී සිටින බව ජාඕ ලජී මහතා මෙහිදී පැවැසීය. එදිනම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අගමැති ලී ච්‍යං මහතා බීජිං නුවරදී හමු වූ අතර, ශ්‍රී ලාංකේය ජනතාවට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ඇති කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට චීනයේ සහාය දෙන බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං නුවර පිහිටි චීන මහජන විරු ස්මාරකයට ද පුෂ්පෝපහාර දැක්වීය.
පසුගිය 17 වැනිදා පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා අතර හමුවක් පැවැත්විණි. ආර්ථික සංවර්ධනයේ පෙරමුණේ සිටින චීනයේ සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නව තලයකට ගෙන ඒම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. අනතුරුව ජනාධිපතිවරයා ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට ද, බිම් මට්ටමේ තිරසර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කී ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා තාක්ෂණ කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ද එක් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවීමෙන් පසුව දෙවැනි නිල විදෙස් සංචාරය වූයේ මේ චීන සංචාරයයි. 17 වැනිදා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන රාජ්‍ය සංචාරය අවසන් කරමින් මේ රටට පැමිණියේය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහත්වරු ද මේ සංචාරයට එක් වූහ.