නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී එරට මිලියන 170ක ජනතාවට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තහනම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව පුරා තරුණ පරපුර අතර උන්මාදයක් බවට පත්වී ඇති ටික් ටොක් සමාජ මාධ්‍යජාලය අමෙරිකාව තුළ තහනම් කිරීම පිළිබඳ පසුගිය මාස කිහිපයක් පුරා උද්ගත වූ කතාබහ ඒ සමඟම අවසන් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකානු රජය ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීමට නීතියක් ස්ථාපිත කිරීමට එරෙහිව එම සමාජ මාධ්‍යජාලය අභියාචානාධිකරණයේ පෙත්සමක් ගොනු කළද එම පෙත්සම නිෂ්ප්රභා වීමත් සමඟ ටික්ටොක් තහනම ක්‍රියාත්මක කිරීමට රජයට නීත්‍යානුකූලව අවසර ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ වනවිට අමෙරිකානු ගූගල් වෙබ් අඩවියෙන් හා ඇපල් ජංගම දුරකතනවලින් ටික්ටොක් මෘදුකාංගය ඉවත් කර ඇති අතර, අමෙරිකානු රජය විසින් අනුමත කරනු ලබන එරට ගැනුම්කරුවකුට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අලෙවි කිරීමට එම සමාජ මාධ්‍යජාලය අයිති චීන සමාගමට තවදුරටත් කල් දීම හෝ නොදීම අද ජනාධිපතිධුරයේ දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනු ඇතැයි ද වාර්තා වේ