මධ්‍යම පළාතේ සිසුන් 30 දෙනකුට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් 283ක් තිබෙන බවත් පළාතේ ඇතැම් පාසල්වල බරපතළ ගුරු හිඟයක් පවතිද්දී ළමයින් 30 දෙනකුට අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් ගණනාවක ගුරුවරු 10ත් – 15ත් අතර සංඛ්‍යාවක් සිටින බවත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගුරු හිඟය සහ ළමයින් අඩු පාසල් සම්බන්ධව අධ්‍යාපන බලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා මේ බව පැවසුවේය. මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේ ළමයින් 30ට අඩු පාසල් 283ක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබෙන අතර 10ට අඩු ළමයින් සිටින පාසල් 100කට වඩා තිබෙන බවයි.
මධ්‍යම පළාතේ රජයේ පාසල් සඳහා අනුමත ගුරුවරු සංඛ්‍යාව 33,028ක් බවත් දැනට පළාතේ සිටින්නේ ගුරුවරු 27,000ක් පමණක් බවත් මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා කීය. ඒ අනුව පළාතේ 6000ක පමණ ගුරු හිඟයක් පවතින බවත් සංවර්ධන නිලධාරීන් 2078 දෙනකු පාසල්වලට අනුයුක්ත කර තිබෙන නිසා පුරප්පාඩු සංඛ්‍යාව 4000ක් පමණ දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ මහතා කීය.
මෙම වසරේදී විද්‍යා පීඨවලින් පිටවන ගුරුවරුන්ගෙන් 1000ක පමණ පිරිසක් මධ්‍යම පළාතේ ගුරු සේවය සඳහා එක් කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ප්‍රධාන ලේකම්වරයා පැවසුවේය. පළාතේ සිසුන් 08 දෙනකු සිටින ඇතැම් පාසල්වල ගුරුවරු 06 දෙනකු සිටින බවත් සිසුන් 06 දෙනකු සිටින පාසල්වල ගුරුවරු 04 දෙනකු සිටින බවත් කී නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගුරුවරු නැති පාසල්වලට හැමදාම ගුරුවරු නැති බව ද අවධාරණය කළේය.
අලුතින් පත්වීම් දීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් දිය නොහැකි බවත් ගුරු හිඟය තුලනාත්මකව විසඳීම සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය. මධ්‍යම පළාතේ පාසල් ගණනාවක සිටින්නේ වැඩබලන විදුහල්පතිවරුන් බව ද නව බඳවා ගැනීම් පිළිබඳ කතා කරන අතරතුර තිබෙන මානව සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීවේය.