අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂින්ටන් නුවර කොන්ග්රස් මණ්ඩල ගොඩනැඟිල්ලේදී දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දෙවැනි ධුර කාලය සඳහා ධවල මන්දිරයට යෑමට නියමිත නව ජනාධිපතිවරයා එම සම්ප්‍රදායික උත්සවයේදී අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාව සංගීත ප්‍රසංගයකින් සහ විචිත්‍රවත් අංග රැසකින් යුතුව සිදු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ අවස්ථාවට හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිය ජිල් බයිඩ්න් ද සහභාගි වන බව තහවුරු කර ඇති අතර, ට්‍රම්ප්ගේ ජනාධීපතිවරණයේ විශාලතම කොටස්කරුවා වූ ලොව වඩාත්ම ධනවත් පුද්ගලයන් අතර මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවන ඉලෝන් මස්ක් , එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිටින ජෙෆ් බෙසෝස් හා සිවුවැනි ස්ථානයේ පසුවන මාර්ක් සකර්බර්ග් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ද එක්වීමට නියමිත බව වාර්තා වේ. මීට අමතරව ඇපල් මෘදුකාංග සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ට සහ ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී ෂෝ චූ ට ද ඔහු ඇරයුම් කර ඇතැයි වාර්තා වේ.
අමෙරිකාවේ ජනාධිපතිවරුන්ගේ දිවුරුම් දීම මීට පෙර මහජනතාවට දැකබලා ගත හැකි ආකාරයෙන් කොන්ග්රස් ගොඩනැඟිල්ලේ පියගැටපෙළ මත සිදුවූවද, මෙවර ශාලාව ඇතුළත සිදු කිරීමට නියමිතව ඇත්තේ වසර 40කට පසු පළමු වතාවට බව ද වාර්තා වේ. නව ආරක්ෂක වැඩපිළිවෙළක් අනුගමනය කරමින් එම පියවර ගෙන ඇත්තේ මේ දිනවල අගනුවර පවතින අධික සීත දේශගුණික තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපතිවරයකු අවසන් වරට ශාලාව ඇතුළතදී දිවුරුම් දෙනු ලැබුවේ 1985දී බවත්, එවර රොනල්ඩ් රේගන් එම පියවර ගෙන ඇත්තේ ද එවකට පැවැති සීත දේශගුණික තත්ත්වය හේතුවෙන් බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිය මෙලනියා ට්‍රම්ප් හා ඔවුන්ගේ පුත්‍රයා වන බාරෝන් සමඟ ඊයේ උදෑසන අගනුවරට පැමිණ ඇති අතර, ඊට පෙර ඔහු වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි සිය වතුයායේදි සමීපතම හිතවතුන් 500ක් සහභාගිවූ අතිවිශාල ප්‍රිය සම්භාෂණ තුනක් පවත්වා ඇතැයි ද වාර්තා වේ.