චීන-ශ්‍රී ලංකා මිත්‍ර­ත්වය ශක්ති­මත් කළ ජන­පති නිල සංචා­ර­යෙන්…

මෙර­ටට විශාල ප්‍රති­ලාභ රැසක් අත්කර දෙමින් චීන – ශ්‍රී ලංකා මිත්‍ර­ත්වය තව තවත් ශක්ති­මත් කළ සංචා­ර­යක් ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පසු­ගි­යදා සිදු කළ චීන සංචා­රය හැඳි­න්විය හැකිය.

එම සංචා­රය පසු­ගිය 14 වැනිදා සිට 17 වැනිදා දක්වා සිදු වූ අතර, ඒ සඳහා සහ­භාගි වීමට ජනා­ධි­ප­ති­ව­රයා පසු­ගිය 13 වැනි දින චීනය බලා පිටත් විය. චීන ජනා­ධි­පති ෂී ජින් පිං මහ­තාගේ ආරා­ධ­න­ය­කට අනුව ජනා­ධි­ප­ති­ව­රයා මේ සංචා­ර­යට සහ­භාගි විය.

14 වැනිදා දින පෙ.ව. 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍ය­න්තර ගුවන් තොටු­පො­ළට ළඟා වූ ජනා­ධි­ප­ති­ව­රයා චීන හමු­දාවේ උත්ක­ර්ෂ­වත් බුහු­මන් සහි­තව චීන නියෝජ්‍ය විදේශ ඇමැති චෙන් ශියා­ඩොන් මහතා විසින් පිළි­ගන්නා ලදි. ජනා­ධි­ප­ති­ව­රයා ගමන් ගත් මාර්ගය දෙපස චීන – ශ්‍රී ලංකා ජාතික ධජ­ව­ලින් සරසා තිබිණි. 15 වැනි දින පෙර­ව­රුවේ ජනා­ධි­ප­ති­ව­රයා චීන කොමි­යු­නිස්ට් පක්ෂ ඉති­හා­සය ඇතු­ළත් ප්‍රද­ර්ශන ශාලාව නැර­ඹී­මට එක්විය. අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා චීනය ඓති­හා­සික ස්ථාන­යක් වන කුං මාලිගා කෞතු­කා­ගා­රය නැර­ඹීය. පසුව මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ නිර්මාතෘ, සභා­පති මාඕ සේතුං අනු­ස්ම­රණ ස්මාර­කය වෙත ගොස් පුෂ්පෝ­ප­හාර දැක්වීය.

15 වැනි දින පස්ව­රුවේ චීන මහ­ජන ශාලා­වේදී චීන ජනා­ධි­පති ෂී ජින් පිං මහතා සහ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අතර නිල හමුව පැවැ­ත්විණි. එම අව­ස්ථා­වට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා චීන ජනා­ධි­ප­ති­ව­රයා විසින් ඉතා උණු­සුම් අන්ද­මින් පිළි­ගනු ලැබීය. ආචාර වෙඩි­මුර සහි­තව ඉතා අභි­මා­න­වත් අන්ද­මින් එම පිළි­ගැ­නීමේ උත්ස­වය සංවි­ධාන කර තිබිණි.

මෙහිදී දෙරටේ නාය­ක­යන් අතර සිදු වූ සුහද කතා­බ­හ­කින් පසුව ද්වි-පාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කෙරිණි. සංව­ර්ධ­නයේ නව යුග­යක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කට­යුතු කිරී­මට චීනය සූදා­නම් බව එහිදී චීන ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. ඉදි­රි­ය­ටත් ශ්‍රී ලංකාව සමඟ නිර­න්තර සහ­යෝ­ග­යෙන් කට­යුතු කරන බව ද ඔහු තව­දු­ර­ටත් සඳ­හන් කළේය. චීන සමූ­හා­ණ්ඩුව දශක කිහි­ප­යක් පුරා ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංව­ර්ධ­නය සඳහා වැද­ගත් කාර්ය­භා­ර­යක් ඉටු කර ඇති බව මෙහිදී ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා පැවැ­සීය. මේ නිල හමු­වෙන් අන­තු­රුව දෙරට අතර ආර්ථික, සාමා­ජීය, කර්මාන්ත ක්ෂේත්‍ර­ව­ලට අදා­ළව අව­බෝ­ධතා ගිවි­සුම් ගණ­නා­ව­කට අත්සන් තබන ලදි.

16 වැනි දින පෙර­ව­රුවේ චීනයේ රාජ්‍ය පෞද්ග­ලික සමා­ගම් එක්ව සංවි­ධාන කළ ආයෝ­ජන සැසියේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක් වෙමින් ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේ ස්ථාවර ශක්ති­මත් පාල­න­යක් හා විනි­වි­ද­භා­ව­යෙන් යුත් ආර්ථි­ක­යක් පව­තින ශ්‍රී ලංකාවේ ආයෝ­ජ­න­යට පැමි­ණෙන ලෙස චීන ආයෝ­ජ­ක­යන්ට ආරා­ධනා කරන බවයි. චීනයේ ප්‍රමුඛ සමා­ගම් රැසක නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ. අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා, චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝ­ජන සමා­ගම් කිහි­ප­යක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහි­ප­යක් ද පැවැ­ත්විය. රජ­යක් ලෙස ආයෝ­ජ­ක­යන්ට අවශ්‍ය සියලු පහ­සු­කම් දීමට කට­යුතු කරන බව ද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී ප්‍රකාශ කළේය.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සිව්දින චීන සංචා­ර­යේදී මෙර­ටට හිමි වූ විශා­ලම ආයෝ­ජ­නය සනි­ටු­හන් කර­මින් හම්බ­න්තොට නව තෙල් පිරි­ප­හ­දු­වක් ඉදි­කි­රී­මට අදා­ළව ශ්‍රී ලංකාවේ බල­ශ­ක්තිය අමා­ත්‍යාං­ශය සහ චීනය සයි­නො­පෙක් සමා­ගම අතර ගිවි­සුම් අත්සන් තැබීම 16 වැනිදා සිදු විය. මෙය ඩොලර් බිලි­යන 3.7ක දැවැන්ත ඍජු විදේ­ශීය ආයෝ­ජ­න­යකි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක සහ චීන මහ­ජන කොංග්‍ර­සයේ ස්ථාවර කමි­ටුවේ සභා­පති ජාඕ ලජී මහ­ත්ව­රුන් අතර හමු­වක් ද 16 වැනිදා පෙර­ව­රුවේ සිදු වූ අතර, ශ්‍රී ලංකාවේ ස්වාධී­න­ත්වය, භෞමික අඛ­ණ්ඩ­තාව සහ ස්වෛරී­භා­වය වෙනු­වෙන් චීනය කැප වී සිටින බව ජාඕ ලජී මහතා මෙහිදී පැවැ­සීය. එදි­නම ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා චීන අග­මැති ලී ච්‍යං මහතා බීජිං නුව­රදී හමු වූ අතර, ශ්‍රී ලාංකේය ජන­තා­වට පොහො­සත් රටක්, ලස්සන ජීවි­ත­යක් ඇති කිරීම සඳහා ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට චීනයේ සහාය දෙන බව අග­මැ­ති­ව­රයා මෙහිදී ප්‍රකාශ කළේය. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා බීජිං නුවර පිහිටි චීන මහ­ජන විරු ස්මාර­ක­යට ද පුෂ්පෝ­ප­හාර දැක්වීය.

පසු­ගිය 17 වැනිදා පෙර­ව­රුවේ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ සිචු­වාන් පළාතේ ලේකම් වං ෂියා­ඕ­හ්වෙයි මහතා අතර හමු­වක් පැවැ­ත්විණි. ආර්ථික සංව­ර්ධ­නයේ පෙර­මුණේ සිටින චීනයේ සිචු­වාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබ­ඳතා නව තල­ය­කට ගෙන ඒම පිළි­බ­ඳව මෙහිදී සාකච්ඡා විය. අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට ද, බිම් මට්ටමේ තිර­සර සංව­ර්ධ­නය තුළින් ග්‍රාමීය පුන­ර්ජී­ව­නය නිරූ­ප­ණය කරන ආදර්ශ ගම්මා­න­යක් වන ෂැන් කී ආදර්ශ ගම්මා­නය සහ ජාතික විද්‍යා තාක්ෂණ කෘෂි­කර්ම මධ්‍ය­ස්ථා­නය නැර­ඹී­මට ද එක් විය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­ප­ති­වී­මෙන් පසුව දෙවැනි නිල විදෙස් සංචා­රය වූයේ මේ චීන සංචා­ර­යයි. 17 වැනිදා පස්ව­රුවේ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා චීන රාජ්‍ය සංචා­රය අව­සන් කර­මින් මේ රටට පැමි­ණි­යේය. විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත්, ප්‍රවා­හන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහ­ත්වරු ද මේ සංචා­ර­යට එක් වූහ.