මෙරට ඖෂධ නිෂ්පාදන ධාරිතාවයේ ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගන්න පියවර

මෙරට ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින් මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ශිඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීමේ වැඩසටහනකට එක් වෙමින්

ඖෂධ සැපයුම්කරුවන් අඩුකම, ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් අඛණ්ඩව ඖෂධ සැපයුම ලබා නොදීම, ගෝලීය ප්‍රශ්න මත සැපයුම් ජාලය අඩාල වීම යන කරුණු හේතුවෙන් වර්තමානයේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල් පද්ධතියට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා

එමෙන්ම සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවයක් ද පවතින බවද ප්‍රකාශ කළා

ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍යවන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම මෙන්ම ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව සවිස්තර කරුණු සොයා බැලීමක් සිදුකළ අමාත්‍යවරයා හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කරගනිමින් නිෂ්පාදන ධාරිතාවය කඩිනමින් ඉහළ දැමීම සදහා අවශ්‍ය සැලසුම් සකස් වියයුතු ආකාරය පිළිබඳව මෙහි දී නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්

එමෙන් ම සෑම නගරයක් ම ආවරණය වන පරිදි අවශ්‍යතාවය අනුව රාජ්‍ය ඔසුසල් ජාලයේ ශාඛා ප්‍රමාණය වැඩිකිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියා