පසුගිය වසරේ වැටලීම්වලින් මිලියන 207කට අධික දඩ ආදායමක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් 2024 වර්ෂයේ වැටලීම් 24,761ක් සිදු කර පැවරූ නඩුවලින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදල් ආදායමක් උපයාගෙන ඇත.

මෙම දඩ මුදල් ලැබී ඇත්තේ නඩු පැවරීම් 23953කින් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.

දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සඳහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සඟවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා නොදීම, තරග විරෝධි චර්යාවල යෙදෙමින් වෙළෙඳාම් සිදු කිරීම සහ කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙඳුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර ඇතැයිද කීවේය.

මෙම වැටලීම්වලදී ආහාර වර්ග, රූපලාවණ්‍යද්‍රව්‍ය හා ඖෂධ ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබුණු අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් ලෙස සහල් සම්බන්ධව වැටලීම් 3114ක්, පාන් සම්බන්ධව වැටලීම් 1624ක් සහ බිස්කට් සම්බන්ධ වැටලීම් 1086ක් ලෙස සිදුකර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.