කොම්පඤ්ඤ වීදියේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සෑදූ නීතිඥයා රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හිමිනමකට අයත් රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සාදා දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නීතිඥවරයකු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කොළඹ පදිංචි සිරිතුංග සිල්වා නමැති නිතීඥවරයෙකි.

මෙම සිද්ධියට අදාළ පළමු සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දොන් පතිරණ නමැත්තා ද ඊයේ (16) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණී. එම සැකකරු ද ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එහිදී අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රී සුධර්මාරාම විහාරයෙහි උමැලේ ජිනරතන හිමියන් විසින් 2013 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වැනිදාය.

ඌව පරණගම ජිනරතන හිමියන්ගෙන් ලද තෑගි ඔප්පුවක් ව්‍යාජ ලෙස සකස් කර සම්පත් රුවන් බණ්ඩාර නමැත්තෙකුට ධම්මවංශ හිමියන් හොර අස්සන් යොදා විකුණා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය කරුණු ඉදිරිපත් කර ඇත. මෙම දේපළ විකුණා ලැබූ මිලියන 60ක මුදල් ප්‍රමාණය සැකකරුවන් තිදෙනකු අතර බෙදාගෙන ඇති බවට කරුණු ඉදිරිපත් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙම සැකකාර නීතිඥවරයාට මීගමුව අධිකරණය තුළද ව්‍යාජ ඔප්පු සාදා දීම සම්බන්ධයෙන් වෙනත් නඩු 3ක් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් දෙදෙනා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.