පොහොර සහනාධාරය ගොවීන් බහුතරයකට දී අවසන්-ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ

වී ගොවීන් සඳහා ආණ්ඩුව ලබා දෙන පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් බිලියන 18ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම මුදල් දිස්ත්‍රික්ක 25ක වී ගොවීන් දසලක්ෂ විසිපන් දහසකට වැඩි ප්‍රමාණයකට හිමිවන අතර, වගා කෙරෙන කුඹුරු හෙක්ටයාර ප්‍රමාණය 721,476කි. පොහොර සහනාධාරය වෙනුවෙන් ආණ්ඩුව වැය කරන මුළු මුදල රුපියල් බිලියන 20කි.

මෙම පොහොර සහනාධාරයේ වැඩිම ප්‍රතිලාභීන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ලබාදී ඇති මුදල රුපියල් කෝටි 292.3කි. වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 116,943කි. ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 161,952කි.

වැඩිම ප්‍රතිලාභීන් සංඛ්‍යාව දෙවැනි ස්ථානයට වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. ලබාදී ඇති මුදල රුපියල් කෝටි 202.9කි. ගොවීන් 86,161 දෙනකුගේ හෙක්ටයාර 81,211ක් වෙනුවෙන් මෙම පොහොර සහනාධාරය හිමි වේ. තෙවැනියට වැඩිම ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් වන ගොවීන් 182,426ක් සඳහා රුපියල් කෝටි 180.9ක මුදලක් වෙන් වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටයි. වගා කෙරෙන හෙක්ටයාර ප්‍රමාණය 72,361 කි.

පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ අතර, මුල් අදියර යටතේ රුපියල් 15,000ක් ද දෙවැනි අදියර යටතේ රුපියල් 10,000ක් ද ලබා දෙන ලදි.

එමෙන්ම පෙරේදා (15) දිනය වන විට රුපියල් මිලියන 16,369 මුදලක් මේ වෙනුවෙන් බැරකර ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දා වන විට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 9,889 මුදලක් ගොවීන් වෙත නිකුත් කර තිබු අතර, ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 679,052කි. හෙක්ටයාර ප්‍රමාණය 496,022කි.

මේ පිළිබඳව අදහස් දක්වන ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, මහ කන්නයේ වී වගාව සඳහා ආණ්ඩුව ලබා දෙන මෙම පොහොර සහනාධාරය සඳහා වූ මුදල් ලබාදීම් මේ වන විට 95%කින් අවසන් කර ඇති බව බවයි. රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව පසුගිය දිනවල විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කළ බවත් ඒවාට නොරැවටෙන ලෙසත් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.