කැන්ගරුවෝ තවත් දින 7කින් ශ්‍රී ලංකාවේ-ඔස්ට්‍රේලියාව මැක්ස්වෙල් කපා දමයි

ශ්‍රී ලංකාවට තවත් සතියකින් පැමිණෙන ඔස්ට්‍රේලියා සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයෙකු වන ග්ලේන් මැක්ස්වෙල් කපා දමා නවක ක්‍රීඩක කූපර් කොනොලි ඇතුළත් කිරීම පිළිබඳ විශාල කතාබහක් ඇතිව තිබේ. ඉන්දියාවේ අහමදාබාද්හි පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට ද ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් මෙලෙස ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවත් කිරීමත් සමඟ ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසන් වනු ඇතැයි අනාවැකි පළවෙමින් පවතී.

36 හැවිරිදි මැක්ස්වෙල් අවසන් වරට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළේ 2017 වසරේ වන අතර, 2022 වසරේ ශ්‍රී ලංකාවේදී පැවති ටෙස්ට් තරගමාලාවෙන් ද අවසන් මොහොතේ ඔහු කැපී ගියේය. එම සංචාරයට දින කිහිපයකට පෙර ට්‍රැවිස් හෙඩ් යෝග්‍යතා පරීක්ෂණයකින් සමත්වීම හේතුකොට ගෙන මැක්ස්වෙල් ප්‍රතික්ෂේප විය.

මැක්ස්වෙල් මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට නැවත පැමිණීමට බලාපොරොත්තු වූ නමුත් තේරීම් කමිටුව ඒ වෙනුවට අනාගතය දෙසට නැඹුරුවී 21 හැවිරිදි කූපර් කොනොලිට මංගල ටෙස්ට් ඇමතුමක් ලබාදී තිබේ. දඟ පන්දු යවන කූපර් කොනොලි එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 2ක් ක්‍රීඩා කොට ඇත. අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියා පිලට නායකත්වය දැරූ කොනොලි දැනට බිග් බෑෂ් ලීගයේ වැඩිම ලකුණුලාභියා වන හෙයින් තේරීම් කමිටුව ඔහු කෙරෙහි පැහැදිලි සලකුණක් පෙන්නුම් කර තිබේ.

31 හැවිරිදි බියු වෙබ්ස්ටර් ටෙස්ට් තරගයකට පමණක් ක්‍රීඩා‍ කොට, සිඩ්නිහිදි ඉන්දියාවට එරෙහිව ලකුණු 57ක් හා 39ක් ලබාගත් අතර, ඔහුටද ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ අවස්ථාවක් ලබාදී ඇත. ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග දෙකට හා එක්දින තරග දෙකකට ඔස්ට්‍රේලියානු පිල මේ මස 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, දෙරට අතර ටෙස්ට් තරග දෙක මේ මස 29 සිට පෙබරවාරි 2 දක්වා හා 2 වැනි ටෙස්ට් තරගය පෙබරවාරි 6 සිට 10 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එක්දින තරග දෙක ලබන පෙබරවාරි මස 12 වැනිදා හා 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා කාලයේ තරග ලෙස පැවැත්වීමට කටයුතු සංවිධාන කොට ඇත. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මේ දිනවල නවතම විදුලි ආලෝක ධාරා පද්ධතියක් සවි කරමින් පවතින බැවින් එහි ඉදිකිරීම් නිම වනතුරු රාත්‍රී කාල‍යේ තරග පැවැත්වීමට නොහැකිවී තිබේ.

1983 වසරේ සිට ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 33ක් පවත්වා ඇති අතර, එයින් 20ක ජය ඔස්ට්‍රේලියාව හා 5ක ජය ශ්‍රී ලංකාව ලබා ඇත. තරග 8ක් විසඳුමකින් තොරව නිමාවට පත් වූවේය. එක්දින තරග 103කදී ඔස්ට්‍රේලියාව තරග 64ක ජය වාර්තා කළ අතර, ශ්‍රී ලංකාව 35ක ජය ලැබීය. තරග 4ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියා ක්‍රිකට් සංචිතය – ස්ටීව් ස්මිත් (නායක), සීයන් ඇබොට්, ස්කොට්ලක්ඩ්‍ බෝලන්ඩ්, ඇලෙක්ස් කෙරී, කූපර් කොනොලි, ට්‍රැවීස් හේඩ්, ජොෂ් ඉංග්ලිෂ්, උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මැට් කූනර්මන්, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලයන්, නේතන් මැක්ස්වීනී, මිචෙල් වෙක්ස්වෙනී, බියු වෙබ්ස්ටර්