හිටපු ඇමැති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගේ අවසන් කටයුතු හෙට

කළුතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ඇමැතිවරයකු වූ අභාවප්‍රාප්ත ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු හෙට (15) පස්වරු 3.30ට හොරණ, පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.

මිය යන විට 97 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1977දී පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා 1994 දක්වා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කළුතර දිසා ඇමැති, පොල් කර්මාන්ත හා භෝග විවිධාංගීකරණ ඇමැති ධුර දරා ඇත.

මෙරට දේශපාලනයේ දැනට ජීවත්ව සිටි වයෝවෘද්ධතම දේශපාලනඥයා වශයෙන් සැලකිය හැකි ඔහු 1948දී පැවති කුඹුකපත්තුව ගම්කාර්ය සභා මැතිවරණයේදී කනේවල, හේනේගම කොට්ඨාසයේ ගම්කාර්ය සභික ධුරයට නිතරගයෙන් පත්වෙමින් සිය දේශපාලන ගමන් මඟ ආරම්භ කළේය.

එම කාලපරාසයේ මන්ත්‍රීවරයකු සහ ඇමැතිවරයකු වශයෙන් හොරණ බලප්‍රදේශයේ සංවර්ධන කටයුතු විෂයයෙහි ප්‍රබල දායකත්වයක් දුන්නේය. පොකුණුවිට ජනසෙත පදනම ව්‍යාපෘතිය ඇතුඑ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති හෙතෙම හොරණ රාජකීය විද්‍යාලයේ ද නිර්මාතෘවරයාය.

මේ වන විට දේහය හේනේගම, පොකුණුවිට ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු හෙට (15) සිදු කෙරේ.