“කාටවත් කරදරයක් නැති මට පහර දුන්නේ ඇයි කියා මම දන්නේ නෑ. මෙහෙම කරන්න මම කළ වරද මොකක්ද? සාධාරණ පරීක්ෂණයක් කරලා මට පහර දුන්නේ ඇයි කියා සොයා බලන්න.” යැයි විද්‍යුත් නාළිකාවක පැවැති රියැලිටි තරගයකින් බිහි වූ ජනප්‍රිය ගායක අජිත් බණ්ඩාර මහතා පැවැසීය.
අසල්වැසි නිවෙසක පුද්ගලයන් පිරිසකගේ පහර කෑමට ලක්ව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අජිත් බණ්ඩාර මහතා මේ බව පැවැසුවේ මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
රියැලිටි තරගයක සුපිරි ගායන තරුවක් වන අජිත් බණ්ඩාර පසුගිය සිකුරාදා (10) විසි හැවිරිදි තරුණයකුගේ පිහි පහරකට ලක්ව තුවාල ලබා මෙසේ රෝහල්ගත කර තිබේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කුරුණෑගල, දඹුල්ල මාර්ගයේ කිරිවවුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේ සිටියදී හවස 4.30ට පමණය. මේ පහරදීමට සම්බන්ධ තරුණයා ඔහුගේ නිවෙස අසලම පදිංචිකරුවකු බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් අජිත් බණ්ඩාර මහතා මෙලෙස මාධ්‍යයට අදහස් දැක්වීය.
“හවස 4.30ට විතර මම නිදාගෙන හිටියේ. එකපාරටම ලොකු සද්දයක් ඇහුණා ගේ පිටුපසින් කවුරු හරි දොරට ගහනවා වගේ. සද්දය මොකක්ද කියලා බලන්න මම කාමරෙන් එළියට ඇවිත් සාලෙන් එබී බලන කොට අල්ලපු ගෙදර කෙනා පිහියක් වගෙ ආයුධයක් අරගෙන සාලයට එනවා මම දැක්කා. ඔහු එකපාරටම පිහිය උස්සලා මට පහර දෙන කොට මම පිහිය අල්ලා ගත්තා. මගේ අත කැපුණා. පස්සෙ මම පිහිය ගන්න පොර බැදුවා. ඔහුගේ තාත්තත්, මල්ලිත් ඇවිත් මාත් එක්කම පොර බැදුවා. මට මොකුත් කරකියාගන්න දෙයක් නැතිව කෑ ගැහුවා. වටේ පිටේ අය එකතු වෙන කොට එයා ගෙදරට දිව්වා. මම ආපහු අත හෝදා ගන්න යනකොට ලොකු සද්දයක් ඇහුණා. ආපහු එයාගෙ ලොකු පුතා යකඩයක් අරන් ඇවිත් මගේ ගෙදර ජනෙල්වලට පහර දුන්නා. මට හිතාගන්න බෑ, ඇයි පාඩුවේ ඉන්න මට මෙහෙම දෙයක් කළේ කියලා. මම හිතනවා පොලීසියෙන් මට සාධාරණයක් වෙයි කියලා.”
අජිත් බණ්ඩාර මහතා මේ වන විට සැත්කමකින් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තුවාල එතරම් බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලීසිය සඳහන් කරන ආකාරයට කුරුණෑගල පවත්වාගෙන යන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුගේ පුතකු වන සැකකාර තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බව අනාවරණය වී තිබේ. අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර, පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන හේරත් මහතාගේ උපදෙස් අනුව, බෝගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දිකා දැල්කදුර මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.