මිනිස් ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ඇගයීමට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරීත්වයෙන් දැනුම්වත් කිරීමේ සැසි පැවැත්වීම සඳහා විශේෂඥ සහාය දීමට පියවර ගන්නා බව ද එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ අග්නිදිග ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා වන කලාපීය නියෝජිත මසූඩ් කරිමිපූර් මහතා පවසයි.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය සමඟ පැවති හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
කලාපයේ වර්ධනය වෙමින් පවතින අන්තර් – දේශසීමා, මිනිස් ජාවාරම් අභියෝග පිළිබඳ ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මේ හමුව සිදුව තිබෙන අතර, මිනිස් ජාවාරම සහ සංක්‍රමණික ජාවාරම සඳහා වන කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක රෙබෙකා මිලර් මහත්මිය ද කලාපීය නියෝජිතවරයා සමඟ මේ හමුවට එක්ව ඇත. මේ සාකච්ඡාව අතරතුර ශ්‍රී ලංකා තානාපතිවරිය විසින් ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන මිනිස් ජාවාරම්, අභියෝග, විශේෂයෙන් මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන මඟින් නොමඟ යවා පසුව ප්‍රවාහනය කර ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ද කරුණු දක්වා ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා සම්බන්ධීකරණ කලාපීය ප්‍රවේශයක අවශ්‍යතාව පිළිබඳව දෙපාර්ශ්වයම එකඟවී තිබෙන අතර, ආසියානු සහ බිම්ස්ටෙක් වැනි කලාපීය රාමු තුළ මේ ගැටලු විසඳීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ. ඊට අමතරව මිනිස් ජාවාරම මැඬපැවැත්වීමට සහ මේ තීරණාත්මක ගැටලුව විසඳීමට කලාපීය සහයෝගිතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ UNODC එක්ව කටයුතු කිරීමට ඇති කැපවීම ද මෙහිදී තහවුරුවී තිබේ.