2024 වසරේ පැවති මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් රුපියල් මිලියන 56කට වඩා ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්ව තිබේ. එම වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයට අදාළව 2024 අගෝස්තු 15 වැනි දින නාමයෝජනා භාරදීමේ සිට 2024 සැප්තැම්බර් 18 වැනි දින මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වන තෙක් දින 34ක් පුරා මෙම සේවාවන් සපයා ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුවන් ගමන් 23ක් සඳහා රුපියල් මිලියන 29.09ක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ගුවන් ගමන් 11ක් සඳහා රුපියල් මිලියන 20.75ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 1.44ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුදල් උපයා ඇතැයි වාර්තා වෙයි.
ඊට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 2.68ක්, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ එක් ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.24ක් සහ හිටපු ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.6ක් අය කරගෙන ඇත.
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත (RTI) යටතේ කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගුවන් හමුදාව මෙම තොරතුරු සපයා තිබේ. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ ප්රචාරක කටයුතු අතරතුර කිසිදු ගුවන් යානයක් භාවිත කර නොමැත.
මැතිවරණ කාලය තුළ ගුවන් ප්‍රවාහනයට ඉන්ධන ලීටර් 42,000ක් සඳහා රුපියල් මිලියන 9ක් වියදම් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්තා කරයි. ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ගුවන් යානා භාවිතය මාධ්‍ය තුළ කතාබහට ලක්වූ අතර, බොහෝ දෙනෙක් අනුමාන කළේ රාජ්‍ය අරමුදල් සහ සම්පත් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බවටයි.
එම ප්රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, සම්මත ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් ගෙවීම් පදනමක් මත අපේක්ෂකයන්ට ගුවන් යානා ලබා දී ඇති බවද ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබේ.