දින දෙකේ ‘බිග් මැච්’ මේ වසරේ සිට දින 3ක්-දීර්ඝ වන අමතර දිනයට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 50ක ප්‍රදානයක්

මෙරට ප්‍රධාන පෙළේ පාසල්වල වාර්ෂිකව පවත්වනු ලබන දින දෙකේ ‘බිග් මැච්’ හෙවත් පාසල් මහා ක්‍රිකට් තරග සියල්ල මේ වසරේ සිට දින තුනක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම්දී ඇති අතර, එම අමතර තෙවැනි දිනය වෙනුවෙන් සංවිධායකයන්ට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමට ද තීරණය කොට ඇත. මෙම බිග් මැච් හරහා ජාතික ක්‍රිකට් පිලට ක්‍රීඩකයන් දායාද වන හෙයින් එම ක්‍රීඩකයන්ට දිගු වේලාවක් ක්‍රිකට් පිටියේ රැඳී සිට පාසල් කාලයේදීම දරා ගැනීමේ ශක්තිය ඇති කිරීම මෙමඟින් අරමුණු කෙරේ.

මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති පාසල් මහා ක්‍රිකට් තරග සම්ප්‍රදාය අනුව වසර 100ක් සම්පූර්ණ වූ පසු එම තරග තෙදින තරගයක් ලෙස ක්‍රියාත්මක වන අතර, මේ වසරේ සිට එම සම්ප්‍රදාය වෙනස් වනු ඇත. දැනට පැවැත්වෙන දින දෙකේ තරග රටාවෙන් බොහෝවිට එක් ඉනිමක් ඕවර් 50 ස්වරූප‍යෙන් පැවැත් වෙයි. එම තරග රටා‍වෙන් පාසල් මහා ක්‍රිකට් තරග මුදා ගැනීම නව ක්‍රමය තුළින් අරමුණ කෙ‍රේ.

1880 වසරේ කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන ‘නිල් මහ සටන‘ මෙරට පළමු තුන්දින පාසල් ක්‍රිකට් තරගය වේ. එයට අමතරව 1900දී ආරම්භ වූ මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර රුහුණු මහා නිල් සටන, 1901දී ආරම්භ වූ යාපනය මධ්‍ය විද්‍යාලය සහ සාන්ත ජෝන් විද්‍යාලය අතර ‘උතුරු හටන’ යන ක්‍රිකට් තරග තුන්දින තරග ලෙස පැවැත්වේ.

මේ දක්වා දෙදින තරගයක් ලෙස පැවති කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 95 වැනි වරටත් සංවිධානය කරන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය එළැඹෙන පෙබරවාරි 28, මාර්තු මස1 සහ 2 තෙදින කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට දැනටමත් තීරණය කොට ඇත. එමෙන්ම ‘ආදරවන්තයන්ගේ සටන’ ලෙසින් සුපතළ ගාල්ල මහින්ද – රිච්මන්ඩ් විදුහල් අතර පැවැත්වෙන 120 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ වසරේ සිට දින 3ක් ක්‍රීඩා කිරීමට පාසල් ද්විත්වය අවබෝධතා ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදු කෙරිණි.

මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර පැවැත්වෙන ‘කඳුකරයේ සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික ක්‍රිකට් මහ තරගය, කොළඹ සාන්ත ජෝසප් සහ සාන්ත පීතර විදුහල් අතර පවැත්වෙන ‘සාන්තුවරයින්ගේ සටන’, මහනුවර ත්‍රිත්ව සහ කටුගස්තොට සාන්ත අන්තෝනි අතර ‘කඳුරට නිල් සටන’, යාපනය විද්‍යාලය සහ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය අතර ‘රන් සටන‘ යන මහා තරග ද දින තුනක් දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

1933 දී ආරම්භ වූ වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාල අතර ‘මොරටු රන් සටන’, 1964 වසරේදී ආරම්භ වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර ‘සහෝදරයන්ගේ සටන’ ඇතුළු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය යටතේ ක්‍රියාත්මක ‘ඒ’ කාණ්ඩයේ සියලු ක්‍රිකට් කණ්ඩායම් තුන්දින පාසල් මහා ක්‍රිකට් තරග ලෙස පැවැත්වීම අනිවාර්ය කොට ඇත.

මේ අතර පාසල් මහා ක්‍රිකට් තරගවලට සමගාමීව පැවැත්වෙන ආදි සිසුන් හා වර්තමාන සිසුන් සහභාගිවන ‘රෝඩ් ෂෝ’ රථ පෙළපාළි සීමා කිරීමට ද පොලීසිය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. මෙයට වසර දෙකකට පෙර බදුල්ල ධර්මදූත විද්‍යාලය හා ඌව මහා විද්‍යාලය අතර මහා තරගයට සමගාමීව පැවති රථ පෙළපාළියක ගමන් කළ කැබ් රථයක් පෙරළී යාමෙන් සිසුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියයෑමත් සමඟ ‘රෝඩ් ෂෝ’ නවතා දැමීමට පියවර ගත්තේය.