ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (12) පැවති සාකච්ඡාවේ දී එම උපදෙස් ලබාදෙන ලදි.
ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු පිළිබඳ මෙහි දී සාකච්ඡා කළ ජනාධිපතිවරයා වරාය ආශ්රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
මෙහි දී වරාය ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේ දී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදි. ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේ දී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවන් ඇති කර ගන්නා ලදි. ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින හතම පැය විසිහතරම රාජකාරි කිරීමට එකඟතාව පළ කරන ලදි. පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal)හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇත. ඒ අනුව බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය භාවිත කිරීමට මෙහි දී තීරණය කරන ලදි. ඉන් අක්කර දෙකක ප්‍රමාණයක් ජනවාරි 31 වැනිදා වනවිට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වැනිදා වනවිට ලබා දීමටත් තීරණය විය. හිතාමතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ, වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තදබදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ විය. ආනයනික බහාලුම් නිෂ්කාශනයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳ ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක්විය. එහි දී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වූ අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාළ නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
මීට අදාළ මූල්‍ය අවශ්‍යතාවන් තිබේ නම් එය වරාය අමාත්‍යංශයෙන් ලබා දිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ආනයනික බහාලුම් නිෂ්කාශනය සඳහා වේලාවට රාජකාරියට වාර්තා නොකරන වෝහාරික ලිපිකරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පෞද්ගලික සංගම්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. තවද මෙම සේවකයන් නිවැරැදි වෙලාවට සේවයට වාර්තා කිරීමේ වගකීම අදාළ පෞද්ගලික ආයතන සතු වන බව ද විෂය භාර ඇමැති බිමල් රත්නායක මහතා අවධාරණය කරන ලදි.
ආහාර ආශ්රිත නිෂ්පාදනවලට අදාළව විදේශ රසායනාගාරවලින් පරීක්ෂා කර ලබා ගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බව ද එහි අක්‍රමිකතාවක් වුවහොත් ඒ සඳහා රජයේ නීතියට අනුව කටයුතු කරන බවට ද ආනයනකරුවන් මෙහිදී එකඟ විය.
වරාය පරිශ්‍රය තුළ බහාලුම් නිෂ්කාශනය සඳහා ගාස්තු රහිතව තබා ගැනීමේ කාලය දින දෙකක් දක්වා අඩු කිරීමට තීරණය කරන ලද අතර එය ලබන ජූනි මාසයෙන් පසුව දින එකක් දක්වා අඩු කිරීමට ද අපේක්ෂා කරන බව ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි. කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල පෙරේරා, ශ්‍රී ලංකා රේගු නිලධාරීන්, ශ්‍රී ලංකා වරාය නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයේ නිලධාරීන්, බහාලුම්කරුවන්ගේ සංගමයේ නිලධාරීන්, බහාලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමයේ නිලධාරීන් ආනයන අපනයන නිෂ්කාශන නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.