චාමර කිව්වේ බොරු: ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ වියදම ලක්ෂ 9යි-සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

“ක්ලීන් ශ්‍රී ලංකා” සමාරම්භක වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ නවයකට වඩා සතයක්වත් රජය වැයකර නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එම වැඩසටහනේ ගෙවීම් වශයෙන් අනුමත වී ඇත්තේ රුපියල් ලක්ෂ 09ක් පමණක් බවත්, එම ගෙවීම් ද මෙතෙක් සිදු කර නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” සමාරම්භක වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක මුදලක් වැයකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමිනි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් වෙබ් අඩවිය සෑදීමට හෝ එම සංගීත ශිල්පියාට හෝ ගීතය ලිවීමට ගිය මිල ගණන් සම්බන්ධයෙන් සඳහන් කළ සංඛ්‍යාලේඛන අසත්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ නවයකට වඩා වියදම් වී නැති බවත් ඊට වඩා මුදලක් වියදම් නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා:

“සභාවේ කටයුතු අවසන් කිරීමට පෙර අත්‍යවශ්‍ය කාරණයක් පැහැදිලි කළ යුතුයි. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක මුදලක් වැය වූ බවට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සභාවේදී සඳහන් කළා. එතුමා සිදුකළ සත්‍ය නොවන ප්‍රකාශය මාධ්‍ය තුළ වාර්තා කර තිබුණා. “ක්ලීන් ශ්‍රී ලංකා” ආරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ හැත්තෑවක් වැය කර නැහැ. ගෙවීම් ලෙස අනුමත කර තිබුණේ ලක්ෂ නවයකට. ඒ මුදලත් තවමත් ගෙවා නැහැ. ඒක නිසා නම කියපු සංගීත ශිල්පියාට හෝ ගීතය ලියපු රචකයාට හෝ වෙබ් සයිට් එක හදන්න ගිය වියදම් ගැන කියපු සියලු කරුණු බොරු. සියල්ලම පදනම්විරහිතයි. මේ වෙනුවෙන් සම්ප්‍රදායක් ලෙස කෝටේෂන් කැඳවා තිබුණා. ඒ මන්ත්‍රීවරයා වරද්දාගත්තේ කෝටේෂන් පිළිබඳව. මිල වැඩි නිසා ඒවා ලබාගත්තේ නැහැ. “ක්ලීන් ශ්‍රී ලංකා” ආරම්භක වැඩසටහන වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයට වඩා එක සතයක්වත් රජයෙන් වියදම් කරලත් නැහැ. කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.ඒ නිසා මේ මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය අසත්‍යයි. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයට වඩා ගෙවීමක් රජයෙන් සිදුකර නැහැ. ඒක නිසා මේ කරුණ පදනම් කරගෙන ඒ මන්ත්‍රීවරයාට ඉල්ලා අස්වෙන්න ඕන නැහැ. එතුමා ඉන්න. නමුත් ඒ ප්‍රකාශය බොරු.”