අත්තක් කඩා වැටී මියගිය මාතර බන්ධනාගාර රැඳවියන්ට වන්දි

මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබේ.

එහිදී මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කර සිටි සෙසු රැඳවියන්ද ප්‍රතිකාර ලබා බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයි ඔහු සඳහන් කළේ ය.

පසුගිය පළමුවැනිදා මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලැබුවේ ය.

මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, සිද්ධයෙන් බන්ධනගාරයේ ගොඩනැගිලි දෙකකට හානිවූ බවයි.

එක් ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර අනෙක් ගොඩනැගිල්ල ඉදිරියෙදී ප්‍රතිසංස්කරණය කරනු ඇතැයිද ඔහු පැවසුවේ ය.

මේ අතර, මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 55 දෙනෙකු, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමටද පියවර ගෙන තිබේ.