පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජයෙන් පියවර

ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගියදා (10 දා) මරදාන පිහිටි VEGA Innovations සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදීය.

VEGA Innovations සමාගම නිපදවා ඇති ලොව තෙවන වේගවත්ම විද්‍යුත් මෝටර් රථය ලෙස සැලකෙන “ VEGA විද්‍යුත් මෝටර් රථය ”, 100% දේශීයව නිපදවා ඇති විද්‍යුත් ත්‍රීවිල් රථ හා සමාගම විසින් AI තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති අනෙකුත් නිෂ්පාදන නිරීක්ෂණය කළ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා එවැනි පරිසර හිතකාමී නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා ඇති බාධාවන් ඉවත් කිරීම සඳහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජය කිසිසේත්ම පසුබට නොවන බවද පැවසීය.

VEGA Innovations සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා අදහස් දක්වමින් වසර 2030 වන විට AI තාක්ෂණය සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක වෙළඳපළක් තිබෙන බවත් එම වෙළඳපළෙන් 1% ප්‍රමාණයක් එනම් ඩොලර් බිලියන 150 ක් ලබා ගැනීමේ අරමුණින් මෙම AI තාක්ෂණ ලංකාවේ ප්‍රචලිත කළ හැකි බව පෙන්වා දෙන ලද අතර මේ වනවිට ලෝකයේ විද්ද්‍යුත් ත්‍රීරෝද රථ සඳහා ඩොලර් බිලියන 30 ක ඉල්ලුමක් පවතින බවත් ලංකාවට ඉන් 10% – 15% ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇති බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා,

“ රටක් ඉදිරියට යාමේදී එරට භූමි ප්‍රමාණය වැදගත් වන්නේ නැහැ. එය තීරණය වන්නේ රට තුළ සිදුකරන නවෝත්පාදන මතයි. විද්‍යුත් වාහන වර්තමාන ලෝකයේ නවතම සංස්කෘතිය බවට පත්වෙලා තිබෙනවා. අපේ ආනයන වියදමින් විශාල ප්‍රමාණයක් ඉන්ධන සඳහා වියදම් කිරීමට සිදු වෙලා තිබෙන පසුබිමක විද්‍යුත් වාහන වෙත ආදේශ වීමට අපට කාලය ඇවිල්ලා. අපේ රටේ ඉතාමත් දක්ෂ තරුණ ව්‍යවසායකයින්, ශ්‍රමිකයින් ඉන්නවා. අන් රටවලට සාපේක්ෂව අපේ රටේ දැනුම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඉදිරියේදී AI තාක්ෂණය පමණක් නොව ඉන් එහාට ගිය තවත් දියුණු තාක්ෂණය අත්පත් කර ගැනීමේ හැකියාවක් අපට තිබෙනවා. ලෝකය තුළ අපට හිමි තැන අත්පත් කර ගැනීමට වර්තමාන පරපුර සූදානම්. ඒ සඳහා අවශ්‍ය සහය කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛ රජය විසින් ලබාදීමට කටයුතු කරනවා ” යැයි පැවසීය.

“ රටේ සිදුවන සාධනීය පරිවර්තන වලට අනුකූල වෙමින් තාක්ෂණයත් සමග අප ඉදිරියට ගමන් කළ යුතුයි . තවදුරටත් වෙළඳ ආර්ථිකයක් තුළ නොරැඳී නිෂ්පාදන ආර්ථිකයක් කරා ඉක්මනින් ගමන් කිරීම වැදගත්. නිෂ්පාදන ආර්ථිකයක් තුළ අගය එකතු කිරීම, රැකියා ජනිත කිරීම, දුප්පත්කම තුරන් කිරීම, ග්‍රාමීය දුගී බව නැති කිරීම යන සංකල්ප අඩංගු වෙනවා. මෙවැනි නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම නව රජයේ ප්‍රතිපත්තියයි. එබැවින් නවීන තාක්ෂණික නිෂ්පාදන සිදු කරන මෙවැනි නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීමට අප රජය උපරිම සහය ලබා දෙනවා” යැයි වැඩිදුරටත් පැවසීය.