ලොව දියුණු රටවල ජනතාව භූක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් මෙරට ජනතාව වෙත උරුම කර දීමේ අරමුණෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන “Clean Sri Lanka” වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබේ. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙළට අනුගතව මෙය ක්‍රියාත්මක වන අතර සියලු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම මහජනතාවද මෙහි කොටස්කරුවෝ වෙති. එම වැඩසටහන සම්බන්ධව ආගමික නායකයන්, විවිධ ජාතීන්, විවිධ වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව දිනමිණට මෙසේ අදහස් දැක්වූහ.
ජනතාව වගේම රටත් ලස්සන වෙන්න ඕනේ
– වැලිගම ධම්මදස්සි හිමි
මේ රටේ ජනතාව වගේම රටත් ලස්සන වෙන්න ඕනේ. පිරිසිදුකම ගැන බුදු දහමේත් සඳහන් වෙනවා. කාන්තාවකගේ බෙල්ලට මාලයක් දැමූ විට කොච්චර ලස්සනද, ඒ වගේ තමයි මේ අපිරිසිදු වෙලා තිබෙන තැන් පිරිසිදු කරලා ගත් විට කොපමණ ලස්සන වෙයිද කියලා බලන්න.
විදේශීය සංචාරකයෝ තවත් මේ රටට එන්න ගන්නවා. කවුරු ක්‍රියාත්මක කළත් මේ වැඩසටහන ඉතාමත් හොඳයි.
රටේ ප්‍රශ්නවලට මාසෙන් දෙකෙන් උත්තර හොයන්න බෑ
– හර්ෂ මුණසිංහ (වෘත්තිකයෙක්, නාවල)
රටේ පවතින ප්‍රශ්නත් එක්ක මාසෙන් දෙකෙන් උත්තර හොයන්න බෑ. එයාලට අපි අවස්ථාව ලබා දෙන්න ඕනි. මේ වැඩපිළිවෙළ හොඳයි. මම හිතනවා, මේක සාර්ථක වෙයි කියලා. හැබැයි පාරවල්, වාහන විතරක් නෙවෙයි උඩ සිට පහළට තියෙන ආයතනවලත් පිරිසිදු කිරීම් කරන්න ඕනි.
වැරදි අඩුපාඩු හදාගෙන රටක් විදිහට පෙරට යන එක හොඳයි
– චරිත් මුණසිංහ (මොරටුව)
මේ වැඩපිළිවෙළ පිළිබඳ මට ලොකු අදහසක් නෑ. මං දැක්කේ වාහනවල කෑලි අයින් කරනවා විතරයි. වැරදි අඩුපාඩු හදාගෙන රටක් විදිහට ඉදිරියට යන එක හොඳයි.
නමුත් මේකෙදි කැපී පෙනුණේ වාහන ක්ලීන් කරන එක විතරයි. මුලින්ම වාහන පිරිසිදු කරනවාට වඩා බස් එකක ගමන් කරනකොට ටිකට් පතක් දෙන්න ඕනි, ඉතුරු සල්ලි දෙන්න ඕනි. මේ වගේ ජනතාවට සහනයක් ලබා දෙන වැඩ මුලින්ම කරන්න ඕනි. නැතිනම් මේ වැඩෙන් වෙන්නේ ආණ්ඩුව විවේචනය වන එකයි.
හැමෝම රටට ආදරේ කරන්න ඕනි
– වෛජන්තිමාලා (මරදාන)
මට නම් ජාති ආගම් භේදයක් නැහැ. අපි හැමෝම ඉපදුනේ මේ රටේ. මුලින්ම තමන්ට තමන් ආදරේ කරන ගමන් රටට ආදරේ කරන්න ඕනි. මොන දේශපාලන පක්ෂය ආවත් කමක් නෑ රට හදන එකයි වෙන්න ඕනි. මම මෙතන සේවය කරනකොට දකිනවා මිනිසුන්ගේ විවිධ අඩුපාඩු. විශේෂයෙන් කියන්න ඕනි කාන්තාවක් වුණාම පිරිසිදුකම කියන එක මූලික වශයෙන්ම තියෙන්න ඕනි දෙයක්. එහෙම වැරදි අඩුපාඩුවක් දකිනකොට මම ඒ අයට කියනවා. මේ වගේ පොදු ස්ථානයක් පිරිසිදුව තියාගන්න ඕනි. ඒක අපි හැමෝටම වටිනවා. මේ වැඩපිළිවෙළ හොඳයි. අපිට ජීවත් වෙන්න පුළුවන් විදියට ලස්සන රටක් හැදෙන්න ඕනේ.
ත්‍රීවීලර්වල අනවශ්‍ය කොටස් අයින් කරන එක හොඳයි
– අනුර නිශාන්ත (ත්‍රිරෝද රථ රියදුරු)
මම දැන් අවුරුදු 25ක් ත්‍රීවීලර් රස්සාව කරනවා. අපි මේක හොඳට කරගෙන ආවා. මේ ත්‍රීවිලර්වල අනවශ්‍ය කොටස් අයින් කරන එක හොඳයි. නම්බර් ප්ලේට් එක වැහෙන්න අං දෙක වගේ කොටස් සවි කරල තියන්නෙ. සයිලන්සරයට සවි කරපු කොටස් නිසා වාහනෙ දෝෂයක් ඇති වුණත් ඇහෙන්නෙ නෑ. මේ රස්සාවටත් ඇවිල්ල ඉන්නවා මැට්ටො වගේ පිරිසක්. කනට කාරබු දාලා අතට වළලු දාලා පච්ච ගහලා පච්ව සිරාලා වගෙ පිරිසක්. ත්‍රීවීලර් රියදුරෝ ඔක්කොම සාන්තුවරු වගෙ පිරිසක් කියලා. මම කියන්නෙ නෑ. හවස් වෙද්දි කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බෑ. බැඳලද රැකියාව මොකක්ද අහනවා. මේක කොළඹ නගරය වෙලත් කුණු ටික අයින් කරලා පිරිසිදු කරලා නෑ. මම මේ ජනාධිපතිතුමාට කියන්නෙ. මගෙ අදහස නම් මුලින්ම මේ රටේ හෙරොයින්, අයිස් වගෙ මත්ද්‍රව්‍ය අල්ලන එක හොඳයි. අපි ඒකට එපා කියන්නෙ නෑ. මැර කණ්ඩායම් පිරිලා. මුලින් මේවා පිරිසිදු කරලා පස්සෙ බස්වල ත්‍රීවීලර්වල අනවශ්‍ය කොටස් ගැලෙව්වට කමක් නෑ. සයිලන්සරයක් ගලවලා වයිපරයක් ගලවලා මේ රට පිරිසිදු කරන්න බෑ. මේකෙන් වෙන්නෙ අනෙක් ප්‍රශ්න යට යන එකයි.
තමන් හැදුණොත් රටත් හදන්න පුළුවන්
– ඥානා තෙන්නකෝන් (මව) සහ වින්ද්‍යා නිසාංජලී (යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්)
මුලින්ම කියන්න ඕනි තමන් තමන්ට ආදරය කරන ගමන් තමන්ගේ ආකල්ප හදාගන්න ඕනේ. තමන් හැදුණොත් රටත් හදන්න පුළුවන්. ක්ලීන් ශ්‍රීලංකා කියලා වාහන විතරක්ම පිරිසිදු කරලා හරියන්නෑ. මිනිසුන්ගේ ඔළුව ඇතුළෙ තියෙන ආකල්ප නිවැරදි වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට රටක් තියෙයි කියලා මං හිතනවා.
ජනපතිගේ මේ සංකල්පය හොඳ වැඩපිළිවෙළක්
– ප්‍රියන්ත ඇන්තනී (වාද්දූව)
ජනාධිපතිතුමාගේ මේ සංකල්පය හොඳ වැඩපිළිවෙළක්. හැබැයි මේකට කැපවීමක් කරන්න වෙනවා. ඒ නිසා අපි හැමෝම එකතුවෙලා මේකට සහයෝගය ලබා දෙන්න ඕනි කියලා මං හිතනවා. අපි දකින්නේ පරිසරය සුද්ද කරනවා විතරයිනේ. හැබැයි මිනිසුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕනෑ. ඒ වගේම මිනිස්සු වුණාම විනය, පිරිසිදුකම මේ හැමදේකින්මත් උසස්වෙන්න ඕනෑ. එතකොට අපිට නීති ගරුකව මේ රටේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉතාම හොඳ වැඩපිළිවෙළක්
– ජුලා ෆලකි (හංගේරියා ජාතික)
මේක ලස්සන රටක්. මම පස්වතාවක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා මේ වැඩසටහන ඉතාම හොඳ වැඩපිළිවෙළක්. තවත් මේ ලස්සන රට ලස්සනම වෙයි කියලා හිතනවා.
මනා අවබෝධයකින් සැවොම මේකට මැදිහත් වීම වටිනවා
– රිස්මි (ගාල්ල)
‘ක්ලීන් ශ්‍රී ලංකා’ මේ වැඩසටහන ඇත්තටම හොඳයි. මේ රට අපි හැමෝගෙම. ජාති, ආගම්වලින් තොරව නිවැරදි අවබෝධයකින් අපි සෑම දෙනාම මේකට මැදිහත් වීම වටිනවා කියලා මම හිතනවා.
රියැදුරුට හොඳට පැහැදිලිව මාර්ගය පේන්න තියෙන්න ඕන
– ආර්. සැම්සන් සිල්වා (ගාල්ල)
බස් ඇතුළේ සහ පිටත විවිධ වර්ණයෙන් යුත් විදුලි බුබුළු සවි කිරීම කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් බවයි මගේ හැඟීම. මමත් දිගු කලක සිට රියැදුරු රැකියාව කළ අයෙක්. රියැදුරුට හොඳ හැටි පැහැදිලිව මාර්ගය පේන්න තියෙන්න ඕන. නමුත් දැන් ධාවනය නරන බොහෝ බස්රථ තුළ රියැදුරු වටේටම මල් වැල් එල්ලෙමින් තිබෙනවා. බස් ධාවනය කරන්න මේව අවශ්‍ය වන්නේ නැහැ. බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු දෙකේ එළිය තිබුණම හොඳටම ඇති රාත්‍රී කාලයට බස්රථ ධාවනය කරන්න. නමුත් බස්රථයේ ඉදිරිපස තොරණක් වගේ නොයෙකුත් වර්ණයේ විදුලි බුබුළු සවි කර තිබෙනවා. මම හිතන විදියට මේ අනවශ්‍ය දේවල් ඉවත් කිරීම හොඳයි.