මගී බස් රථවල සවිකර ඇති අනාරක්ෂිත උපාංග ඉවත් කිරීමට පොලීසිය දියත් කර ඇති මෙහෙයුම් හේතුවෙන් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පෞද්ගලික බස් වර්ජනය, බස් රථ හිමියන්ගේ සංගම් මඟින් වැඩබලන පොලිස්පතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අත්හිටුවනු ලැබීය.
මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවි කර තිබූ අනවශ්‍ය කොටස් ඉවත් කිරීමට දුන් සහන කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට එම සාකච්ඡාවේදී එකඟ වූ බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. මෙහිදී බස් රථ හිමිකරුවන් විසින් සිය සේවකයන් මේ නිසා මුහුණදෙන ගැටලු හා අපහසුතාවන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. මාර්ග විනය පවත්වාගෙන යෑමට සිදු කරන මෙම මෙහෙයුම් හේතුවෙන් මාරක රිය අනතුරු මෙන්ම රිය අනතුරු අඩු වී ඇති බව සංඛ්‍යාලේඛන ආශ්‍රිතව වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. බස් රථවල සවි කර ඇති අලංකරණ උපාංග ඉවත් කර ගැනීමට හෝ ඒවා නීත්‍යනුකූල කර ගැනීමට මාස තුනක කාලයක් ලබාදෙන ලෙස බස් රථ සංගම් නියෝජිතයන් විසින් ඉල්ලීමක් කළ බව ද බුද්ධික මනතුංග මහතා පැවසීය.
මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවි කර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කිරීමට දුන් සහන කාලය මාස 03ක් දක්වා දීර්ඝ කිරීමට එහිදී එකඟතාව පළ වූ බවත් මාරාන්තික වන සවිකරලීම්වලට තමන්ගේ එකඟතාවක් නැති බවත් බස් සංගම් වැඩබලන පොලිස්පති සමඟ සාකච්ඡාවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
මෙවැනි සවි කිරීමේ හේතුවෙන් වන මාරාන්තික අනතුරකදී තමන්ට රක්ෂණ ආවරණය පවා ගැනීමට නොහැකි බව බස් රථ සංගම් නියෝජිතයන් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. මාරන්තික අනතුරු සිදුවන කොටස් ගැලවිය යුතු බව තමන්ද පිළිගන්නා බව ද එම නියෝජිතයන් එහිදී පවසා තිබේ. තමන්ගේ ආරක්ෂාව ඇත්තේ පොලීසිය මහමඟ රැඳී සිටියහොත් බව ද මෙහිදී බස් රථ හිමිකරුවන්ගේ සංගම් නියෝජිතයෝ සඳහන් කළහ.
බස් රථවල සවි කර ඇති ස්ටිකර් නොගැලවීම, බස් රථ ධාවනය වන අවස්ථාවලදී මගීන් සමඟ බස් රථ නතර කිරීම සීමා කිරීමට මෙන්ම එම අවස්ථා මාධ්‍ය ඉදිරියේ සිදු කරමින් බස් රථ කර්මාන්තයට හා බස් මගීන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි ක්‍රියා කිරීමට පොලීසිය මෙහිදී එකඟ වූ බව ද බස් සංගම් නියෝජිතයෝ මෙහිදී පවසා සිටියහ.