නව සභාපති කීර්ති වැලිසරගේ, නව සාමාජිකයන් ලෙස නාට්‍යවේදී රුවන්ති ද චිකේරා, ආචාර්ය සසංක පෙරේරා, සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහත්ම මහත්මීන් ඇමැතිවරයා අතින් පත්වීම් ලැබූ අයුරු
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පත් කර තිබේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් පෙරේදා (07) ඊට අදාළ පත්වීම් ලිපි ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපති ඇතුළු සාමාජිකයන්ට අමාත්‍යාංශයේදී ලබා දුනි.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කීර්ති වැලිසරගේ මහතා පත්කර ඇත. ආචාර්ය සසංක පෙරේරා, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,
නාට්‍යවේදී රුවන්ති ද චිකේරා, මහාචාර්ය එස්. මෞණගුරු මහත්ම මහත්මීහු සාමාජිකයන් ලෙස පත්කළහ.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබූ කීර්ති වැලිසරගේ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. වසර 27ක් රජයේ පාසල් ගුරු සේවයේ නිරතව සිටි වැලිසරගේ මහතා අධ්‍යාපනපති උපාධිය හිමි කර ගත්තෙකි. කෙටි කතා, නව කතා, ශාස්ත්‍රීය සහ යොවුන් සාහිත්‍ය ආදී ක්ෂේත්රවල පෘථුල දස්කම් ඇති ඔහු සම්මානයට පාත්‍ර වූ අවස්ථා බොහෝය. තෙවරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ඒ මහතාගේ සාහිත්‍යමය කාර්යභාරය ස්වර්ණ පත්ම සම්මාන, සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන ආදියෙන් ද ඇගයීමට ලක්ව තිබේ.
ඔහු විසින් රචිත කෙටි කතා 11 අතර අත් මීදුම, දඬුලේනා සහ තවත් කතා, දිගු තත්පර ආදී කෘති බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ඒවාය. මායා තීර්ථ, කාල සර්ප සහ ගරුඬ මුහුර්තය වැනි නව කතා ඔහුගේ සාහිත්‍ය ප්‍රතිභාව මැනවින් කියා පෑ නිර්මාණ බවට කිසිදු විවාදයක් නැත. යොවුන් සාහිත්‍යයේ සහ විචාර කේෂ්ත්‍රයේ ද වැලිසරගේ නාමය ඉහළින්ම කියැවේ.