මුල් පෙළ අසා­ර්ථ­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකාව එක්දින තර­ගා­ව­ලි­යත් පරදී

පිට පිට දෙවැනි වර­ටත් නව­සී­ලන්ත පන්දු යව­න්නන් හමුවේ මුල් පෙළ පිති­ක­රු­වන් අසා­ර්ථක වීම නිසා කඩුලු ත්‍රිත්ව­යක් සහිත මහීෂ් තීක්ෂ­ණගේ දක්ෂ පන්දු යැවී­මත්, කමිඳු මෙන්ඩිස්ගේ සට­න්කාමී ඉනි­මත් අපතේ යව­මින් එක්දින තර­ගා­ව­ලි­යත් වේලා­ස­නින්ම පරා­ජය වීමට ශ්‍රී ලංකා­වට සිදු විය.

ඊයේ හැමි­ල්ට­න්හිදී පැවති දෙවැනි එක්දින තර­ගය ලකුණු 113කින් ජය ගැනී­මට නව­සී­ල­න්තය සමත් වූ අතර, ඒ සමඟ තරග 3කින් සම­න්විත තර­ගා­ව­ලියේ ජය 2-0ක් ලෙස නව­සී­ල­න්තය සතු වූයේ තර­ග­යක් ද ඉති­රිව තිබි­ය­දීය.

වර්ෂා­වෙන් බාධා වීම හේතු­වෙන් පැය දෙක­හ­මා­ර­කට ආසන්න කාල­යක් ප්‍රමාද වූ තර­ගයේ ඉනි­මක් ඕවර 37කට සීමා වූ අතර, කාසියේ වාසිය දිනා­ගත් ශ්‍රී ලංකා පිලේ ආරා­ධ­න­යෙන් පළ­මුව පන්දු­වට පහර දුන් නව­සී­ල­න්තය කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස් කළේය. එම ඉල­ක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ඕවර 30.2කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 142ක් පමණි.

ආර­ම්භක පිති­ක­රු­වන් වූ පැතුම් නිස්සංක (1), අවිශ්ක ප්‍රනාන්දු (10) සමඟ කුසල් මෙන්ඩිස් (2) සහ නායක චරිත් අස­ලංක (4) ලකුණු 23ක් තුළ දැවී යද්දී අංක 4 පිති­කරු ලෙස පිටි­යට පිවිසි කමිඳු මෙන්ඩිස් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ සෙසු පිති­ක­රු­ව­න්ගෙන් සහා­යක් නොලැ­බී­මෙන් පරා­ජය උරුම විය.

කමිඳු සිය හොඳම එක්දින ඉනිම ලෙස පන්දු 66කින් ලකුණු 64ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සම­ඟිනි. ජනිත් ලිය­නගේ ලකුණු 22ක් සහ චමිඳු වික්‍ර­ම­සිංහ ලකුණු 17ක් ඉනි­මට එක් කළහ. පන්දු යැවී­මේදී විල් ඕ’රූකී කඩුලු 3ක් සහ ජෙකම් ඩෆී කඩුලු 2ක් දවා ගත්හ.

නව­සී­ලන්ත ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් රචින් රවින්ද්‍ර පන්දු 63කදි හතරේ පහර 9ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 79ක් රැස් කළ අතර, ඔහුට අනගි සහා­යක් දුන් මාක් චැප්මන් දෙවැනි කඩු­ල්ලට ලකුණු 112ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟු­වේය. චැප්මන් ලකුණු 62කට දැවී ගිය අතර, දක්ෂ පන්දු යැවී­මක නිරත වූ මහීෂ් තීක්ෂණ කඩුලු ත්‍රිත්ව­යක් ද සමඟ කඩුලු 4ක්, වනිඳු හස­රංග කඩුලු 2ක් දවා­ගත් අතර, ඒෂාන් මාලිංග මංගල එක්දින කඩුල්ල දවා ගැනී­මට සමත් විය.

ඉනිමේ 35 වැනි ඕව­රයේ 5 වැනි පන්දු­වෙන් මිචෙල් සැන්ට්නර් දවා­ගත් තීක්ෂණ ඊළඟ පන්දු­වෙන් නේදන් ස්මිත්ගේ කඩුල්ල බිඳ දැමූ අතර, යළි 37 වැනි ඕව­රය ක්‍රියා­ත්මක කළ ඔහු පළමු පන්දු­වෙන් මැට් හෙන්රි දවා ගත්තේ සිය කඩුලු ත්‍රිත්වය සපුරා ගනි­මිනි. ජාත්‍ය­න්තර එක්දින පිටියේ ශ්‍රී ලංකා වෙනු­වෙන් කඩුලු ත්‍රිත්ව­යක් වාර්තා වූ 10 වැනි අව­ස්ථාව මෙය වන අතර, 7 වැනි පන්දු යවන්නා ලෙස ඔහු වාර්තා පොතට එක් විය. මින් පෙර ලසිත් මාලිංග (3), චමින්ද වාස් (2), ෆර්වෙස් මහ­රුෆ්, තිසර පෙරේරා, වනිඳු හස­රංග සහ ශෙහාන් මදු­ෂංක එක්දින කඩුලු ත්‍රිත්ව වාර්තා කර තිබිණි.

දෙපිල අතර තෙවැනි සහ අව­සන් එක්දින තර­ගය අනිද්දා (11) ඕක්ල­න්ඩ්හිදී පැවැත්වේ.