ජනතාවට ගුණාත්මක, ප්රශස්ත සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් 05ක් ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය සංවර්ධන කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ද්විතීක හා තෘතීයික අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලට සැපයීම, මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම, සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ප්‍රධාන ධාරාවන් 5 ඔස්සේ සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමකට ඔසවා තැබීමට සැලසුම් සකස් කර ඇති බව ද ඇමැතිවරයා කීවේය.
සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ආයුර්වේද වෛද්‍ය සභාවට පත් වූ සාමාජිකයක්ට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පැවති මෙම උත්සවයේදී ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් 23 දෙනකුට පත්වීම් ලිපි ප්රදානය කෙරිණි.
මෙරට ජනතාවට සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්රය සංවර්ධනයට පියවර ගැනීම මෙන්ම බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳවත්, පවතින කාලීන ගැටලු පිළිබඳවත් මෙහිදී කරුණු විමසූ අමාත්‍යවරයා විසඳුම් ලබා දිය හැකි යැයි හඳුනාගත් ගැටලු රාශියකට කඩිනම් විසදුම් ලබාදීමට එම අවස්ථාවේදීම කටයුතු කළේය.
ඉදිරි සැලසුම් සකස් කිරීම සහ ගැටලු විසඳීම සඳහා ඉතා දීර්ඝ ලෙස වෛද්‍ය සභාවේ සාමාජිකයන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් කරුණු එක්රැස් කර ගැනීමට ද කටයුතු කළේය. දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින් අනාගත ඉලක්කගතව එම වෛද්‍ය ක්‍රමයට ගම්‍ය වූ සුවිශේෂතා හඳුනා ගනිමින් එම සුවිශේෂතා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්රය දියුණු කිරීම ද රජයේ ප්‍රමුඛතම අරමුණක් බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා එයට සමගාමීව සංචාරක කලාපයන්හි ස්ථාපිත බටහිර සහ ආයුර්වේද රෝහල් පද්ධතියේ මානව හා භෞතික පහසුකම් ද වර්ධනය කර නිසි ක්‍රමවේදයක් ඇතිව විධිමත් අයුරින් සංවර්ධනය කිරීමට ක්‍රියා කරන බව ද පැවසීය.
මේ වනවිට බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක වන රජයේ රෝහල් 1164ක් ද, ආයුර්වේද අංශයේ රෝහල් 112ක් ද මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක වන බව සිහිපත් කළ අමාත්‍යවරයා, එම සෑම රෝහලක් පිළිබඳවම අවධානය යොමු කර දියුණු මට්ටමට ගෙන ඒම වත්මන් රජයේ සැලසුම බව ද, මින් ඉදිරියට කටයුතු කිරීමේදී එම සැලසුමෙන් බාහිරව ඇමැතිවරයාගේ හෝ පළාතේ දේශපාලනඥයාගේ මනසේ පහළ වන මනෝරාජික සංකල්ප නිලධාරීන් හෝ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක නොකළ යුතු බව ද අවධාරණය කළේය.
ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේවික්‍රම මහතා ඇතුළු ආයුර්වේද වෛද්‍ය සභාවට අලුතින් පත්වූ සාමාජිකයන්, ආයුර්වේද වෛද්‍යවරුන්, නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.