රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව සහ මේ වන විට වැඩි වශයෙන් සිදු වන ඩිජිටල් ගනුදෙනු කෙරෙහි ජනතාවගේ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කොට ඇත.
මේ වන විට මෙරට ජනතාව වේගයෙන් ඩිජිටල් ගෙවීම් සහ පියවීම් ගනුදෙනු සිදු කිරීමට පෙළඹී සිටින නිසා ඒ කෙරෙහි ඔවුන්ගේ විශ්වාසනීයත්වය තවදුරටත් ශක්තිමත් කොට වැඩිදියුණු කිරීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් ඇතුළු මූල්‍ය පද්ධති ස්ථායිතා ඇති කිරීම අරමුණු කර ගත් ප්‍රතිපත්ති 13ක් ක්‍රියාත්මක කොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ වසර 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (08) කොළඹ මහ බැංකු මූලස්ථානයේදී එළිදක්වමිනි.
වසර 2024 ආර්ථික හා මූල්‍ය අංශයේ කාර්ය සාධනය, මිල ස්ථායිතාව, මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් මෙහිදී අධිපතිවරයා ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ඇති කිරීම යටතේ බැංකු අංශයේ ශක්තිමත් ලෙස ගොඩනැඟීමට ප්‍රතිපත්ති ගෙන ඇතැයි අවධාරණය කළ අධිපතිවරයා මේ වසරේ පටන් ඉදිරි තුන් අවුරුද්ද ඩිජිටල් ගෙවීම් ඔස්සේ වඩාත් ශක්තිමත් විශ්වාසනීය අංශයක් බවට පත් කිරීමට ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනත සංශෝධනය කිරීමට මුල පුරා ඇතැයි ද කීය.
එම දේශීය ගෙවීම් ගනුදෙනු සඳහා ISO 20022 ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වන පරිදි 2024දී නව තත්කාලීන දළ පියවීම් (RTGS) පද්ධතියක් මහ බැංකුව ආරම්භ කළ බව ද වීරසිංහ මහතා කීය. එළඹි නව වසර තුළ වැඩි වශයෙන් ඩිජිටල්කරණයට මෙරට ගනුදෙනු පත් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු සියලු දිරිගැන්වීම් ලබාදීමට මහ බැංකුව ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කළේය.
ඉතා ඉහළ උද්ධමනයක් වාර්තා කළ වසර 2022 කාලය සිහිපත් කළ අධිපතිවරයා මේ වන විට ඍණ අගයක් ගන්නා අවධමන තත්ත්වය මේ වසරේ මැදදී 5%ක තනි මැද උද්ධමන අගයකට පත්කර ගැනීමට ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසීය.
මූල්‍ය විශුද්ධිකරණය, ත්රස්තවාදයට අරමුදල් සැපයීම ඇතුළු ක්‍රියා නතර කිරීමට ජාත්‍යන්තරය සමඟ එක්ව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද අධිපතිවරයා කීය.
බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන, බලපත්‍රලාභී මූල්‍ය ආයතන කටයුතු පමණක් නොව අවිධිමත් මූල්‍ය ක්ෂේත්රයන් පවා නියාමනයට සහ අධීක්ෂණයට ලක් කරමින් ජනතාවගේ මූල්‍ය අන්තර්ගතභාවය සහ සාක්ෂරතාව ඉහළ නැංවීමට විශාල වැඩ කොටසක් සිදු කරන බවට 2025 සඳහා ප්‍රතිපත්ති එළිදක්වමින් අධිපතිවරයා පැවසීය.
කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඊයේ පැවැති ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවේදී අධිපතිවරයා අදහස් දැක්වූ අයුරු සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ මුදල් මණ්ඩලය සහ පෞද්ගලික හා රාජ්‍ය බැංකු ප්‍රධානීහු මෙන්ම මහ බැංකුවේ උසස් නිලධාරීහු ඊට සහභාගි අයුරු