ටිබෙට් දේශයට ප්‍රබල භූ කම්පනයක්-ජීවිත 95ක් වැළලෙයි

චීනයට අයත් ටිබෙට් කලාපයේ ෂීසැං පළාතේ සිදුවූ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයන් 95 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පෙරවරුවේ සිදුවූ මේ භූකම්පනයෙන් තවත් පුද්ගලයන් 130කු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. භූකම්පනය සිදුවූයේ දකුණුදිග චීනයට යාබදව පිහිටි ටිබෙට් දේශයේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව බවත්, නිවාස හා ගොඩනැඟිලි දහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අමෙරිකාවේ භූ විද්‍යා ඒකකයේ දත්තවලට අනුව ප්‍රධාන භූකම්පනයෙන් පසු අතුරු කම්පන රැසක් ද සිදුවී ඇති අතර, භූකම්පනයේ බලපෑම් අසල්වාසී නේපාලයට සහ ඉන්දියාවටත් දැනී ඇතැයි වාර්තා වේ. චීන රජයට අයත් සීසීටීවී මාධ්‍යය භූකම්පනය පිළිබඳ වීඩියෝ පට නිකුත් කර ඇති අතර, නිවාස හා ගොඩනැඟිලි බිඳ වැටෙන අයුරු එහි දැක්වෙන බව වාර්තා වේ.

මේ වන විට ආපදා කළමනාකරණ කණ්ඩායම් සුන්බුන්වලට යටවූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ද ආරම්භ කර ඇති අතර, මිය ගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ද අනාවැකි පළවී තිබේ.