ශ්‍රී ලංකා පිලට මාස 10කදී ජාත්‍යන්තර තරග 14ක්

ශ්‍රී ලංකා පාපන්දු පිල එළැඹෙන මාර්තු මාසයේ සිට මාස 10ක් තුලදී ජාත්‍යන්තර පාපන්දු තරග 14ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. එය ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ වසරක් තුළ ක්‍රීඩා කරන වැඩිම විදෙස් පාපන්දු තරග ගණන වේ. ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තෙවැනි වටයේ තරග 6ක් හා ෆිෆා මිත්‍රත්ව පාපන්දු තරග දෙකක් මෙන්ම දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ තරග හයකට ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ යුතු වේ.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයට හා අවසන් මහා තරගයට පැමිණීමට සමත් වුවහොත් එම තරග දෙක ද ශ්‍රී ලංකා‍වේ පැවැත්වෙන හෙයින් මුළු පාපන්දු තරග ගණණ 16 දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තෙවැනි වටයේ තරගාවලිය ලබන මාර්තු මස 25 වැනිදා තායිලන්තය සමඟ තරගයෙන් ආරම්භවන අතර, ටර්කි‍මෙනිස්තානය හා චීන තායිපේ රටවලට එරෙහි තරග දෙක බැගින් පැවැත්වේ. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තෙවැනි වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයවන බැවින් බොහෝ දෙනකු මේ කෙරෙහි අවධානයෙන් පසු වේ. මේ තරගාවලියට සහභාගීවීමට පෙර මාර්තු 20 වැනිදා හා 22 වැනිදා ලාඕසයේදී ෆිෆා මිත්‍රත්ව තරග දෙකක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත. දකුණු ආසියානු සම්මේලනය සංවිධාන කරන දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය ජුනි-ජූලි මාසවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, නව ආකෘතිය යටතේ ශ්‍රී ලංකා පිල මෙරටදී තරග 3කට හා දකුණු ආසියා ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ තරග 3කට සහභාගිවිය යුතු වේ. කලාපයේ පාපන්දු ක්‍රීඩාව සියලු රටවල ජනප්‍රිය කරවීම මේ නව ක්‍රමයේ අපේක්ෂාව වේ.

ශ්‍රී ලංකා පාපන්දු පිල ගෙවීගිය වසරේ අන්තර්ජාතික පාපන්දු තරග 10කට සහභාගිවී ලද ප්‍රගතිය අනුව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 205 වැනි ස්ථානයේ සිට 200 දක්වා ඉහළට පැමිණියේය. මේ වසරේදී ශ්‍රී ලංකා පාපන්දු පිල දක්වන දක්ෂතා අනුව අනාගතයේදී ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 188 වැනි ස්ථානය දක්වා ඉහළට යනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා විශ්වාසය පළ කළේය.

“මාස 8ක් වැනි කෙටි කලක් තුලදී ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. ලබන මාර්තු මාසයේ ජාත්‍යන්තර පාපන්දු තරග ආරම්භ කිරීමට පෙර ජාතික පිලේ ක්‍රීඩකයන් හා ජාතික සංචිතයට එක්කරගත හැකි මුල් පෙළේ ක්‍රීඩකයන් කණ්ඩායම් 4කට බෙදා තුරඟ තරග පිටියේ රාත්‍රී පාපන්දු තරගාවලියක් සංවිධාන කොට තිබෙනවා. එයින් දක්ෂ ක්‍රීඩකයන් සොයා ගැනීමට හැකි වේවි. මේ වසර පාපන්දුවේ වසරක් බවට පත් කරනවා” උමර් මහතා පැවසීය.