වී කිලෝවකට රුපියල් එකසිය තිහක් ලබා දෙන්න කියලා අභියෝග කරනවා-මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

මැතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි වී කිලෝවකට රුපියල් එකසිය තිහක මිලක් ලබා දෙන ලෙස අභියෝග කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 ) ප්‍රකාශ කළේය.

2024 වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදයට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේද පැවසීය.

වෙළෙඳපොළේ රතුහාල් නැහැ . ආණ්ඩුව පත්වෙලා මාස තුනක්. දැන් කියන්නේ බැහැ නැහැ කියලා. අඩු තරමින් පිටරටින්වත් රතු හාල් ගෙනාවද. නැහැ. වී සඳහා රුපියල් 110 නොවෙයි 130ක් දිය යුතුයි කියලා පසුගිය කාලයේ කෑ ගැහැව්වා. සමන්ත ඇමැතිතුමා නැහැ කියන්න නම් එපා. වී කිලෝවක මිල 130ට තිබ්බොත් මොනවා වෙයිද. කිලෝ ලක්ෂ තුනක් මිල දී ගෙන තියා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනන්නේ නැහැ. ආණ්ඩුව දැන් කියන්නේ වී මිල 110යි කියලා. අහෝ ඛේද ජනකයි.

දැන් ගොවි මහත්තයාට කියනවා රුපියල් 130ක් දෙන්න බැහැ කියලා. අපි අභියෝග කරනවා පුළුවන් නම් රුපියල් 130ක් කරන්න කියලා. ගොවියා වෙනුවෙන් කියලා අමුඩ ගහගෙන පාරට බැස්සේ. කතාව හොඳයි. අපිත් සහය දෙන්නම්. කියපුවා කරන්න ඕනෑ. නොකරනවා නම් ඒක සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක සදාචාර සම්පන්න නැහැ.