බාල ඖෂධ ජාවාරමුන්ට නීති පියවර-කැබිනට්ටුව තීරණය කරයි

අක්ෂි ආබාධවලට ලක්වූ 17කට වන්දි

බාල ඖෂධ ගෙන්වන ලද සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (07) අවධාරණය කළේය. නුවරඑළිය මහ රෝහලේදී සිදු කළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලදී තත්ත්වයෙන් බාල ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් අන්ධ වූ වින්දිත රෝගීන් 17 දෙනකුට රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට ලක්ෂ දහය දක්වා වන්දි දීමට රජය තීරණය කර තිබේ.

ඇස් අන්ධ වූ රෝගීන් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ මූලිකත්වයෙන් පත් කරන ලද කමිටුව මඟින් දුන් නිර්දේශ මත මේ රෝගීන්ගෙන් 12 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 10ක් බැගින් වන්දි ගෙවීමට නියමිතය. රෝගීන් දෙදෙනකු වෙනුවෙන් රුපියල් 750,000 බැගින් වන්දි ගෙවීමට නිර්දේශ කර තිබේ. එක් රෝගියකු සඳහා රුපියල් ලක්ෂ 7ක වන්දියකුත් රෝගීන් දෙදෙනකු සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දියකුත් වශයෙන් ගෙවීමට නිර්දේශ වී තිබේ. නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජන කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් පෙනීම අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වූ බවත් ඉන් සමහරක් පූර්ණ අන්ධභාවයට පත් වූ බවත් ඒ මහතා කීවේය.

මෙවැනි ආකාරයේ වන්දි පිරිනැමීමක් මින් පෙර සිදු නොවූ බැවින් ඊට පූර්වාදර්ශ නොතිබූ බවත් ඇමැතිවරයා මෙහිදී කීවේය.

ඖෂධ නියාමන අධිකාරිය තුළ පසුගිය කාලවකවානුවේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන අභ්‍යන්තර විමර්ශන කටයුතු නිම වූ පසුව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. මේ වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි ලෙස සිදුවන බවත් මෙවැනි වංචා දූෂණ වැළැක්වීමට මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යය විධිමත් හා කඩිනම් කිරීමත් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් හෙතෙම කීවේය.

ඖෂධවල තත්ත්වය හා ගුණාත්මකභාවය අතිශය වැදගත් බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ඖෂධ පරීක්ෂා කිරීමේ විද්‍යාගාරයක් ඉදිකරන බවත් ඇමැතිවරයා පැවසීය. ඉදිරි වසර තුන ඇතුළත මෙම විද්‍යාගාරය ඉදිකර අවසන් කරන අතර ඒ සඳහා ඉඩමක් පවා මේ වනවිට වෙන් කර ඇති බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මෙණෙවිය මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට අදාළව ආයතන ගණනාවක් තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන ඒකකය මේ ආයතනයි. ඖෂධ ගැටලුවට විසඳුම මේ ආයතන හතර සම්බන්ධීකරණය කිරීමයි. මේ සම්බන්ධීකරණ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියට මෙහි ප්‍රධාන කාර්යභාරයක් පැවරෙනවා. මේකට යම් තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෑමේදී වංචාවක් සිදුව තිබෙනවා. මේක ඇතුළේ ෆයිල් ගොඩ ගැහෙනවා. අපි ආණ්ඩුව ගනිද්දි ෆයිල් 2100ක් තිබුණා. දැන් ඒවා යම් තරමකට අඩු කරගන්න අපිට හැකි වෙලා තිබෙනවා. තව ෆයිල් 900ක් තිබෙනවා. ඉදිරි මාස තුන ඇතුළත මේ ගැටලු සියල්ල විසඳා ගන්න අපි කටයුතු කරනවා. මෙහි සිදුව ඇති වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙනවා’ යැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.