පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගුයි-පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කරමින් අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත. 2023 මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර අවලංගු කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මඟින් නම් කරනු ලැබූ අපේක්ෂකයන් සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ තැන්පතු ආපසු ගෙවීමට ද මේ පනත් කෙටුම්පත මඟින් අවස්ථාව සලසා දී තිබේ. පසුගිය නාමයෝජනා ලැයිස්තුවට අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් ඊට ඡන්දය ප්‍රකාශය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ 2023 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වූ ඡන්ද හිමියන්ට පමණක් වන අතර මේ නිසා 2024 ඡන්ද හිමි නාමලේඛනය සමඟ සැසඳීමේදී ඡන්දදායකයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ද අහිමි වේ.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද දී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 340ක පාලනය මේ වන විට විශේෂ කොමසාරිස්වරුන් යටතට පත්ව ඇත‍. ඒ අනුව මහ නගර සභා 29ක් නාගරික කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති අතර නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන් වෙත පැවරී තිබේ. අදාළ පළාත් පාලන ආයතන 340ක ඡන්ද විමසීම සඳහා පසුගිය වසරේ ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 20 වැනිදා දක්වා ඇප මුදල් භාරගනු ලැබූ අතර ජනවාරි 18 වැනිදා සිට 21 වැනිදා දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරිණි. මෙවර මැතිවරණයෙන් පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැඩි පිරිසක් තෝරා පත්කර ගැනීමට නියමිතය.