සීත සෘතුවේ හිමපතනය ඉහළ යෑමෙන් අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක්

දැඩි හිමපතනය සහ හිම කුණාටු හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වොෂින්ටන් ඩීසී සහ බැල්ටිමෝර් පළාත්වල ඊයේ උදෑසන දැඩි හිමපතනයක් වාර්තා වී ඇතැයි ද, ඇතැම් ප්‍රදේශවලට අඟල් 5ක සිට අඟල් 10 දක්වා හිම වැටී තිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කැන්සාස් පළාතේ අඟල් 12.5ක හිමපතනයක් වාර්තා වී ඇති අතර, හිමපතනය සමඟ දරුණු ටොනේඩෝ තත්ත්වයක් ද උද්ගත වී ඇති ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඇතැම් ප්‍රදේශවල හිමපතනය අඟල් 16 දක්වා ඉහළ යනු ඇතැයි අමෙරිකාවේ කාලගුණ විද්‍යා ඒකකය අනතුරු අඟවා තිබේ.

වොෂින්ටන් නුවර සියලු පාසල් වසා දැමීමට නගරාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත්, එරට බොහෝ ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 8ක් තරම් පහළ වැටී ඇති බවත් වාර්තා වේ. අධික ශීතල හේතුවෙන් ශරීර උෂ්ණත්වය පහළ වැටීමේ අවදානමක් මතුවී ඇති බැවින් නිවාසවලින් පිටතට නොයන ලෙසත්, හැකි තරම් උණුසුම් හා ආරක්ෂාකාරී ඇඳුමින් සැරසී සිටින ලෙසත් එරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.