නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ඉඩමකට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් මිලියන 9ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ඒ සඳහා අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයකු ලබන 17 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (6) නියෝග කළාය. ඔවුන්ට ඇප ලබා දෙන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිබඳ නියෝග එදින ප්‍රකාශ කිරීමට නියම කරන ලදි. අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස විමර්ශන නිලධාරින් ඉල්ලා සිටි අතර ඇප ලබා දෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම නියෝගය කරන ලදි. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු දිගටම සිදු කරන ලෙසද නියම කෙරිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතත් ඔවුන් ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ සිද්ධියට අදාළ කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැති බැවින් තම සේවාදායකයන්ට ඇප ලබා දෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තම සේවාදායකයාට වසර තුනහමාරක් වයසැති කුඩා දරුවෙක් සිටින බවත් සැකකරුගේ බිරිය ද රැකියාවක නිරත වී සිටින බැවින් එම දරුවා රැකබලා ගැනීමට තම සේවාදායකයාට පැවරී ඇති බව ද ඇප ඉල්ලීම් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
ඔහු සිය ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයාගේ බිරිය විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාරන බවත් ඇගේ විභාග කටයුතු ලබන 8, 11 දිනයන්හි පැවැත්වෙන බැවින් ඒ පිළිබඳද අවධානය යොමු කර තම සේවාදායකයාට ඇප ලබා දීම සලකා බලන ලෙසද අධිකරණයෙන් ඉල්ලීය.
දරුවා රැකබලා ගත් තම සේවාදායකයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් දරුවා යම් මානසික ආතතියකට පත්ව ඇති බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිඥවරයා තවදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර 2023 ජූනි මාසයේ බවත් වෙනත් දෙදෙනකු මෙම සිද්ධියට සම්බන්ධ නමුත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් එක්වරම තම සේවාදායකයා ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඇති ඉඩමකට අදාළ වන්දි මුදල් ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා සිටි අවස්ථාවේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් ඇප ලබා නොදෙන ලෙසටද විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලීය.
සිද්ධියට අදාළව විමර්ශන කරනවා කියා සැකකරුවන් දින ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම ගැටලුසහගත බවත් ඇපදීම වැළැක්වීම සඳහා ඇප පනත යටතේ කිසිදු කරුණක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිය මූලික බී වාර්තාව මඟින් ඉදිරිපත් කර නොමැති බැවින් ඇප ඉල්ලීම සඳහා වැඩිදුරටත් කරුණු ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ඥාතියකුට අයත් කොළඹ ටොරින්ටන් ඇවිනිව්හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පවරාගෙන තිබී ඇති බවය.
එම ඉඩම වෙනුවෙන් කෝටි 11ක වන්දියක් නාගරික සංවර්ධන අධිකාරියෙන් පැමිණිලිකාර පාර්ශ්වයට හිමිවීමට නියමිතව තිබී ඇති අතර එම මුදලින් කෝටි තුනක චෙක්පතක් පැමිණිලිකරුට ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා සැකකරුවන් දෙදෙනා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වීය. පැමිණිලිකාර ව්‍යාපාරිකයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබූ බව ද විමර්ශන නිලධාරිහු විසින් අධිකරණයට දැනුම් දුන්හ.
අදාළ අල්ලස් මුදල වූ රුපියල් ලක්ෂ අනූව ලබාදීම සඳහා මාදිවල පිටකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක් ඉදිරිපිටට පැමිණෙන ලෙස සැකකරුවන් දෙදෙනාට අල්ලස් කොමිසමේ උපදෙස් මත පැමිණිලිකරු දැනුම් දුන් බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වීය. ඒ අනුව කරන ලද දැනුම් දීමට අනුව සැකකාර පුද්ගලයන් දෙදෙනා එම අල්ලස් මුදල ලබා ගැනීම සඳහා ඉහත සඳහන් ස්ථානය වෙත ගොස් එම මුදල ලබාගැනීමට තැත් කිරීමේ දී ඔවුන්ව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ, පැමිණිලිකාර පුද්ගලයා ලබා දී ඇති චෙක්පතකට අදාළ මුදල් ලබාදීම සඳහා පැමිණෙන ලෙස පැමිණිලිකාර පුද්ගලයා සැකකරුවන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව ඔවුන් එම ස්ථානයට ගිය අවස්ථාවක දී විමර්ශන නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරුවන් තවදුරටත් ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.
සැකකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අනිල් ද සිල්වා, නෙවිල් අබේරත්න සහ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයේ පෙනී සිටියහ.