පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අගමැතිනී,ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය.
පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අගමැතිනිය මේ බව සඳහන් කළාය. අපේ රජයට අධ්‍යාපනය කියන එක ඉතා වැදගත් විෂයක්. ඒ සඳහා අපේ රජය විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් අගමැතිනිය කියා සිටියාය.
පළාතෙන් පළාතට වෙනස් අවශ්‍යතා තිබෙන්න පුළුවන් වුණත් ප්‍රතිපත්ති අතර ලොකු පරස්පරයක් නොතිබිය යුතු බව අගමැතිනිය කීවාය.එහෙත් ප්‍රතිපත්ති මට්ටමේ තීන්දු තීරණ අර ගනිද්දී ජාතික මට්ටමේ ප්‍රතිපත්තියට අනුකූලව වැඩ කරන්න සිදුවන බව අගමැතිනිය සඳහන් කළාය.
අගමැතිනිය වැඩිදුරටත් මෙසේද පැවැසූවාය.
පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් කිරීම තමයි අපේ ආණ්ඩුවේ මූලික අරමුණ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය වන ප්‍රධානම තැන තමයි අධ්‍යාපනය. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙවැනි පරිවර්තනයක් සිදු වෙද්දී අනිවාර්යයෙන්ම අපි එකඟතාවන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. නැත්නම් මෙතැන අර්බූදයක් වෙන්න ඉඩ තිබෙනවා. අධ්‍යාපනය කියන්නේ හරි සංවේදී මාතෘකාවක්. පහේ ශිෂ්‍යත්වය නැති කරන්න කියා රටේ ජනතාවගේ අදහසක් තිබෙනවා. එමඟින් දරුවන්ට පීඩනයක් ඇති කරනවා කියා කියනවා. හැබැයි එහෙම තීරණයක් ගන්න කලින් පහේ ශිෂ්‍යත්වය ඇති කරන්න හේතුව බලන්න ඕනෑ නේ. ඒකට හේතුව පාසල් අතර තිබෙන පරතරය. පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න නම් පාසල් අතර තිබෙන පරතරය නැති කරන්න ඕනෑ. ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැතිව නෛතික හෝ ප්‍රතිපත්ති තීරණ විතරක් ගත්තොත් රටේ අර්බුද ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් අවම කරන්න පොදු විභාග ක්‍රමය යටතේ විභාගයට මුහුණදෙන දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. තීරණ ගැනීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීමටයි අපි උත්සාහ කරන්නේ. දේශපාලනඥයා,ඇමැතිවරයා හෝ ලේකම්වරයා තනි තීරණ ගන්න එකක් නෙමෙයි මේක. දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ යන්ත්‍රණයක් සැකසීමටයි අපි උත්සාහ කරන්නේ.
දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා,පෝෂණ වැඩසටහන්,අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ හා ගුරුවරුන්ගේ හිඟය හා වෘත්තීය මට්ටමේ ගුරු පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාව වැනි ක්ෂේත්රවල පළාත් මට්ටමෙන් ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මෙහිදී යොමුවිය.
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහත්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.