දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය නව මුහුණුවරකින්-සෑම කණ්ඩායමකටම තරග හයක් මවුරටේ තරග තුනයි: ප්‍රතිවාදියාගේ රටේ තරග තුනයි

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ සමස්ත මුහුණුවර වෙනස් කිරීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සූදානම් වේ. මෙතෙක් දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය වසර දෙකෙන් දෙකට එක් රටක කේන්ද්‍රීය ස්ථානය බවට පත්කොට පැවැත්වුවද, නව වසරේ නව සැලසුම් මඟින් දකුණු ආසියානු කලාපයේ සෑම රටකටම තරග ලබාදී කණ්ඩායම් හත ලීග් ක්‍රමයට ක්‍රීඩා කෙරේ.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීම හෙට නේපාලයේ කත්මණ්ඩු නුවරදී රැස්‍වන අතර, එහිදී මේ නව ක්‍රමය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය. කෙසේ වුවද මෙවර දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය ජුනි – ජූලි මාසවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය නව ක්‍රමයට සංවිධාන කළ යුතු යැයි දිගු කලක් තිස්සේ සාකච්ඡා කරමින් පැවැතිය ද මෙවර එය ක්‍රියාවට නැංවීමට බොහෝ දුරට ඉඩ ඇත. ඒ අනුව මේ වස‍රේ සිට නව ආකෘතියකින් දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

සෑම කණ්ඩායමක්ම තරග හයකට ක්‍රීඩා කළ යුතුවන අතර, කණ්ඩායමක් තම මව් රටේ තරග තුනක් හා අනෙක් තරග තුන තම ප්‍රතිවාදියාගේ රටේ ක්‍රීඩා කළ යුතු වේ. එක් දිනකදී රටවල් තුනක් එකට ක්‍රීඩා කරනු ඇති අතර, එම තරග එකම වේලාවක ආරම්භ කිරීමට කටයුතු යෙදේ. උපන් රටේ පාපන්දු තරගයක් ක්‍රීඩා කිරීමෙන් පසු ඊළඟ තරගය සඳහා ගුවන් ගමන ඇතුළු අනෙකුත් විවේක අවශ්‍යතා සඳහා දින පහක විවේකයක් හිමි වේ.

සෑම රටකම පාපන්දු ලෝලීන්ට සතුට උදාකිරීම මේ නව ක්‍රමය මඟින් අරමුණු කොට ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය. මෙයින් කලාපයේ පාපන්දුව කෙරෙහි විශාල අවධානයක් යොමුවන හෙයින් මේ සඳහා සම්පූර්ණ සහ‍යෝගය ශ්‍රී ලංකාව ලබාදෙන බව උමර් මහතා පැවසීය.

“මේ නව පාපන්දු රටාව හොඳ ක්‍රමයක්. තරග දෙක තුනක් දිනා ගත්තාම අවසන් පූර්ව වටයට යන්න අවස්ථා සැලසුම් කරන්න පුළුවන්. අවසන් පූර්ව වටයට අපේ කණ්ඩායම අවාම ඒ තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. අපි අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තාම ඒ තරගයත් අපට ලැබෙනවා. කලාපයේ සියලු රටවල් ශ්‍රී ලංකා පාපන්දුව කෙරෙහි විශ්වාසයක් තබා තියෙනවා. කලාපීය පාපන්දු සහයෝගීතාවයටත් මේ අලුත් ක්‍රමය හොඳයි” ජස්වර් උමර් මහතා පැවසීය.

සිංගප්පූරුව පදනම් කරගත් අමෙරිකානු සමාගමක් දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් ගිවිසුම් ගතව ඇති අතර, ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන මේ නව ක්‍රමය සකසා ඇත.