එන්සීසී සහ ඒස්ට පිට පිට දෙවැනි ජය පසිඳුගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය පිට පිට දෙවැනි ජයග්‍රහණය අත්කර ගැනීමට එන්සීසී සහ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජ සමත් විය.

තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග කරන එන්සීසී පිල දෙවැනි සතිය යටතේ පැවති තරගයෙන් බීආර්සී පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 87 ජයක් හිමි කර ගත් අතර, ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන ඒස් පිල රාගම ක්‍රීඩා සමාජය ලකුණු 116කින් පරාජය කළේය.තවත් තරගයකදී බදුරලිය පිලට එරෙහිව කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් වූ අතර, සෙසු තරග 5 ජය පරාජයෙන් තොරව නිමා විය.

දෙවැනි සතියේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ 25 හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර සමත් වූයේ මෙවර තරගාවලියේ පළමු ද්විත්ව ශතකලාභියා වෙමිනි. ටැමිල් යූනියන් පිලට එරෙහිව පී. සරා ඕවල් පිටියේදී නොදැවී ලකුණු 200ක් රැස් කළ ඔහු පන්දු 294කදී හතරේ පහර 18කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කර ගත්තේය. පළමු පෙළ තරග බිමේ පසිඳුගේ තෙවැනි ද්විත්ව ශතකය මෙය වන අතර, මින් පෙර නැෂනල් සුපර් ලීග් තරගවලදී ඔහු ද්විත්ව ශතක දෙකක් (242ක් හා 214ක්) වාර්තා කර තිබිණි.

මේ තරගවලදී ළහිරු උදාර සහ අහන් වික්‍රමසිංහ (එන්සීසී), ෂෙහාන් ජයසූරිය (හලාවත), පවන්ත වීරසිංහ (ඒස්), කවීන් පෙරේරා (නුගේගොඩ), කවිෂ්ක අංජුල (කෝල්ට්ස්), සමීර සඳමාල් සහ දිල්හාර පොල්ගම්පොළ (කුරුණෑගල) ශතක වාර්තා කළහ.

මෙහිදී කවිෂ් අංජුල සහ දිල්හාර පොල්ගම්පොළ සිය මංගල පළමු පෙළ ශතක වාර්තා කිරීම කැපී පෙනිණි.

බදුරලියට එරෙහි තරගයේදී ඕෂද ප්‍රනාන්දු (පානදුර) එක ලකුණකින් ශතකය අහිමි විය. කෝල්ට්ස් පිලේ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක 2ක් (88 හා නොදැවී 66) වාර්තා කළේය.

පන්දුවෙන් දස්කම් දක්වමින් ඉනිමකදී කඩුලු 6 බැගින් බිඳ දැමීමට දුෂාන් හේමන්ත (පානදුර) දිලුම් සුදීර (පොලීසිය), දුවිඳු තිලකරත්න (හලාවත), අකිල ධනංජය (කෝල්ට්ස්) චානක කොමසාරු (බදුරලිය), මදුක ලියනපතිරණගේ (නුගේගොඩ) සහ රමේෂ් මෙන්ඩිස් (මුවර්ස්) සමත් වූ අතර, අශේන් ඩැනියෙල් (එන්සීසී), නලින් ප්‍රියදර්ශන (පොලීසිය), නිම්සර අතරගල්ල (ඒස්), දසුන් ශානක (එස්එස්සී), ළහිරු ජයරත්න (කුරුණෑගල) සහ තරිඳු රත්නායක (ටැමිල් යූනියන්) කඩුලු 5 බැගින් දවා ගත්හ.