මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට තිබූ සියුම් අවස්ථා ඊයේ ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. සිඩ්නි ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව විසින් ඉන්දියාව තරග 3-1ක් ලෙස පරදා ඊයේ බෝඩර් – ගවස්කාර් කුසලානය දිනා ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ අසල්වැසි ඉන්දියාවද ලෝක ටෙස්ට් අවසන් සටනින් ඉවතට ගිය අතර, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව ලබන ජුනි 11දා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගයේදී මුණ ගැසේ.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී පැවැත්වීමට නියමිතව තිබුණද එහි ප්‍රතිඵල අවසන් මහා තරගයට අදාළ නොවේ. එහෙත් එම තරග දෙක වාසි සහගත ලෙස අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ඉන්දියාව සිව්වැනි තැනට ඇද දමා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානයට පැමිණීමේ අවස්ථා ශ්‍රී ලංකාවට උදාකර ගත හැකිය. එම තත්ත්වය ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් බැවින් මේ 29 සහ පෙබරවාරි 6 යන දිනවල ගාල්ලේදී ආරම්භවන ටෙස්ට් තරග දෙකේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව ලකුණු 66.67ක්, ඔස්ට්‍රේලියාව ලකුණු 63.73ක්, ඉන්දියාව ලකුණු 50.00ක්, නවසීලන්තය ලකුණු 48.21ක් හා ශ්‍රී ලංකාව ලකුණු 45.45ක් ගෙන ලෝක ටෙස්ට් ලකුණු සටහනේ පිළිවෙළින් සිටිති.
ඉදිරියේ පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරග දෙකෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ලකුණු 53.85ක් බවට පත්වී තෙවැනි ස්ථානයට පැමිණෙනු ඇත. හයවැනි ස්ථානයේ සිටින එංගලන්තය ලකුණු 43.18ක්, බංග්ලාදේශය ලකුණු 31.25ක්, පාකිස්තානය ලකුණු 30.30ක් හා බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 24.24ක් ලබා සිටියද ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට පැමිණීමේ අවස්ථා නැත.