ලෝකයේ මහද්වීප හතේ උසම කඳු මුදුන් තරණය කර ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම තම එකම බලාපොරොත්තුව සහ අභිලාෂය බව ශ්‍රී ලාංකික කඳු තරණය කරන්නකු වන යොහාන් පීරිස් මහතා ඊයේ (5) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී පැවසීය.
ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොසිඔස්කෝ, අප්‍රිකාවේ කිලිමැන්ජාරෝ, යුරෝපයේ එල්බ්‍රෙස් සහ ආසියාවේ එවරස්ට් යන කඳු හතර සාර්ථකව තරණය කර තිබේ. ඔහු මෙවර ඇන්ටාක්ටිකාවේ උසම කඳු මුදුන වන මීටර් 4,690ක් උස මවුන්ට් වින්සන්ට් තරණය කිරීම සඳහා ඊයේ (5) දින අලුයම පිටත්ව ගියේය. මීට අමතරව ආර්ජන්ටිනාවේ ඇකන්කගුවා සහ ඇලෙස්කාවේ මවුන්ට් දිනාලි කඳු මුදුන් ද ඔහුට තරණය කිරීමට තවදුරටත් ඉතිරිව පවතී.
මෙම කඳු මුදුන් 7ම සාර්ථකව තරණය කළ ලෝකයේ කඳු නඟින්නන් 350 දෙනකු සිටින බවත්, තමා ද ඔවුන් අතරට එක්ව ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන ඒමට බලාපොරොත්තුවෙන්, මෙම කඳු තරණය කිරීම සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේය. යොහාන් පීරිස් කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පියෙකි.