නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති නව යුද හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පසුගිය දා (2) කොළඹ පිහිටි සිය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා හමුවිය.

ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා සමඟ පැවැත්වූ පළමු නිල හමුව මෙයයි.

මෙම හමුවේදී නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ වෙත ඔහුගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුබාශිංසන එක් කළ අතර, ශක්තිමත් පාලනය සහ වගවීම මෙන්ම මෙහෙයුම් කාර්යක්‍ෂමතාව පිළිබඳව අවධාරණය කරමින් ඔහුගේ නායකත්වය යටතේ යුද හමුදාව සඳහා විය යුතු ප්‍රධාන ප්‍රමුඛතා සබැඳිව දැනුම්වත් කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් යුද හමුදාවේ කාර්යභාරයේ වැදගත්කම මෙම හමුවේදී පෙන්වා දෙන ලද අතර, රජයේ ප්‍රතිපත්තිය තහවුරු කරමින් යහපාලනය, සම්පත් කළමනාකරණය, වගවීම සහ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා යුද හමුදා නායකත්වයේ සැබෑ කැපවීම පිළිබඳව ද මෙම හමුවේදී ඇමැතිවරයා කරුණු අවධාරණය කරන ලදි.